Wednesday, 29 May 2019

සුපර් ස්ටාර් හි ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ හා එහි සමාජ බලපෑම





     සිරස සුපර් ස්ටාර් ගායන තරු වැඩසටහන මෑතකදී ඉලෙක්ට්‍රොනික මාධ්‍ය විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය සංස්කෘතික අංගයක් විය. එක් රූපවාහිනි නාලිකාවක්  එය පටන් ගත් පසු  අනෙකුත් නාලිකා ගණනාවකටම එය පැතිර ගියේය. ශ්‍රී ලංකාවේ දකුණුකරේ නාගරික, අර්ධ නාගරික, ග්‍රාමිය ආදී ප්‍රදේශ  සියල්ලකින්ම පැමිණි තරුණ තරුණියෝ ස්වකීය නවක ගායන හැකියා ප්‍රකාශ කරන්නනටත්, උරගා බලන්නටත්  ඉදිරිපත් වූහ. බලාපොරොත්තු වූ අයුරින්ම ඒ වටා ජනප්‍රිය සංස්කෘතිය ගොඩ නැගුණි. 

  සුපර් ස්ටාර් හි ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ පිළිබඳව විමසා බැලීමට ප්‍රථම මේ හා සම්බන්ධව ඉදිරිපත්ව ඇති පක්ෂ හා විපක්ෂ මතවාද කවරේද යන්න විමසා බැලීම වැදගත් වේ. එය සංක්ෂිප්තව පහත පරිදි වේ.

ඝෘණාත්මක පැතිකඩ
➧එය American Idol වැඩසටහනේ කොපියකි.
➧එමඟින් තරුණ ප්‍රජාව මත්තේ ආරෝපණය කරන ලද උන්මාදය හේතු කොට ගෙන සංස්කෘතිය සෝදා            පාලුවට භාජනය වෙයි.
තරඟ විනිශ්චය කෙටි පණිවුඩ SMS මඟින් සිදු කිරීම අසාධාරණය. 
➧මෙම වැඩසටහන හුදු අවංක වැඩසටහනක්  නොවීය. ඒ පිටුපස අදාල මාධ්‍ය ආයතනයේ වෙනත් න්‍යාය            පත්‍රයක් ක්‍රියාත්මක විය.

ධනාත්මක පැතිකඩ
ලංකාව පුරා විසිරි සිටින දක්ෂතා සපිරි තරුණ තරුණියන්ට අත දීම පිණිස කළ සාධනීය වෑයමකි.
විදේශීය ප්‍රතිරූප වෙනුවට දේශීය ප්‍රතිරූප ජනතාව අතර ප්‍රචලිත වීම යහපත් ප්‍රවණතාවකි.
වෙනත් ඇල්මැරුණු ආධුනික ගීත ප්‍රසංගවලට වඩා මැනවින් සංවිධානය කෙරුණු ප්‍රාසංගික උළෙලකි.

සුපර් ස්ටාර් හි ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ හා එහි සමාජ බලපෑම පහත කරුණු ඇසුරින් විමසා බැලිය හැකිය
➤ලංකාවට රියැලිටිකරණය හඳුන්වා දීම.
➤වේදිකාව නව්‍යකරණය කිරීම හා ඩිජිටල්කරණය
➤ජයග්‍රාහකයින් තේරීම 
➤බටහිරකරණය

⧭ඇඳුම් පැලඳුම් 
⧭හැසිරීම
⧭භාෂාව 
⧭කොණ්ඩා විලාසිතා

➤වැඩසටහන් විනිශ්චය මණ්ඩලය 
➤Day card, Class card, Hand Bill නිර්මාණය කිරීම.
➤නප්‍රියත්වයට පත්වන තරු ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා සම්බන්ධ කර ගැනීම. 
➤Coversongs  සංස්කෘතිය හඳුන්වා දීම-
➤Slogen භාවිතය


ලංකාවට රියැලිටිකරණය හඳුන්වා දීම

    සිරස රූපවාහිනී නාලිකාව මඟින් පවත්වන ලද මෙම සංගීත ප්‍රසංගය American Idol  නම් ගායන තරඟ මාලාවක් පදනම් කර ගෙන එහි එන ආකෘතිකමය ලක්ෂණ දේශියත්වයට ගැලපෙන ආකාරයට  සකස් කර ඉදිරිපත් කළ තරඟ මාලාවක් විය. ඒ ඇසුරින් ලංකාවේ ප්‍රථම වරට රියැලිටිකරණය ස්ථාපනය විය. ඒ වර්ෂ 2007 දීය.
මෙම ආකෘතිය පදනම් කර ගනිමිින් තවත් බොහොමයක් රූපවාහිනිී නාලිකා Reality වැඩසටහන් සම්පාදනය කරන ලදී.
නිද; ➧ Derana Dream star
       ➧ රණවිරු  රියල් ස්ටාර්
       ➧ Hiru Star
ඉන් අනතුරුව මෙහි අතුරු ශාඛාවක් ලෙස තරුණ පාර්ශවය පමණක් නොව කුඩා ළමුන් ඉලක්ක කර ගත් වැඩසටහන් ද නිර්මාණය විය.
නිද:➧ Derana Little Star
      ➧ Sirasa Junior Super star

වේදිකාව නව්‍යකරණය කිරීම හා ඩිජිටල්කරණය

මෙහි දී නවීන වේදිකා පසුතල නිර්මාණ භාවිතා කරමින් ඉතා ආකර්ෂණීය ආලෝකකරණ පද්ධතියක් හා විනිවිිද පෙනෙන වේදිකා මස්තකයක් යොදා ගෙන වේදිකාව නව්‍යකරණයට පත් කර ඇත. ස්ටීරියෝ තාක්ෂණය භාවිතය මඟින් ඩිජිටල්කරණය සිදු කර ඇත.
    ආලෝකකරණ පද්ධතිය  
➥Spot lights
➥ADJ Mega flat Hexpack stage lighting system
➥Lizy Beam stage Effect lights
➥Led light stage
ජයග්‍රාහකයින් තේරීම 

 මෙහිදී සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව සුපිරි තරුව තෝරා පත් කර ගැනීම සඳහා  SMS  මනාප ක්‍රමය භාවිතා කරන ලදී. මෙයින් පසුව බොහොමයක් Reality වැඩසටහන් වලදී සුපිරි තරු තෝරා ගැනීම සඳහා SMS මනාප ක්‍රමය භාවිතා කරන ලදී. අවසන් මහා තරඟයේ දී ජයග්‍රහණය කරන සුපිරි තරුවට වැඩිපුරම SMS මනාප ලබා දෙන ප්‍රේක්ෂකයාට මුදල් ත්‍යාග පිරි නැමීම ද සිදු කෙරේ. එමෙන්ම 40%  SMS  මනාප මඟින් ද ඉතිරිය 60% විනිශ්ය මණ්ඩලය මඟින් ද තරඟකරු හට පිරි නැමේ.
මෙම ක්‍රමය වර්ධනයට පත් වීම මඟින් තරඟකරුවන් ඉදිරි වට වෙත යැවීමේ සම්පූර්ණ බලය ජනතාවට හිමි කර දී තිබේ. 
මනාප ප්‍රකාශ කිරිමට App  හඳුන්වා දීම- Hiru Star App


බටහිරකරණය

➽ඇඳුම් පැලඳුම්

      ඇසට ආකර්ශණීය ඉතා විචිත්‍රවත් වස්ත්‍රාභරණවලින් සැරසී ගත් ගායන තරු දක්නට ලැබිණි. මූලික වටවල දී මෙන් නොව පසුව ඉදිරිපත් කරන එකිනෙක වටවලට අදාලව ඉදිරිපත් කරනු ලබන ගීතවලට උචිත   ⧬ඇඳුම්වලින් සැරසීම දක්නට ලැබිණ.
 ⧬හින්දි ගීත ගායනා කරන විට සාරියෙන් සහ කුර්තා ඇඳුමින් සැරසීම.
බටහිර පන්නයේ ගීත ගායනා කරන විට පිරිමි පාර්ශවය: කලිසම, කමිසය, තොප්පිය, බෝ එක, ඔප දැමූ          සපත්තු
කාන්තා පාර්ශවය; විවිධ වර්ණවලින් යුතු තනි පැහැ party frock (සුදුු කලු රතු) high heels
දේශීයත්වයට ගැලපෙන ඇඳුම් භාවිතය අවම වූ අතර බටහිරකරණයට ලක් වූ ඇඳුම් භාවිතය වැඩි                    වශයෙන් දක්නට ලැබේ.

➽හැසිරීම

 වේදිකාව මත ප්‍රාසංගික ඉදිරිපත් කිරීමේ දී ලැබෙන ප්‍රතිචාර හමුවේ ක්‍රියාත්මක වන ආකාරය, ඉන් පිටත දී පුහුණු වීම්වල දී ඔවුන් හැසිරෙන ආකාරයත් තුල ඉතා ප්‍රියමනාප පුද්ගලයන් ලෙසින් ප්‍රේක්ෂකයාට සමීප කරයි. (ඔවුන්ගේ පවුල් පසුබිම  සහ අන්‍යෝන්‍ය සබඳතා හමුවේ දක්වන ප්‍රතිචාර)  

➽භාෂාව

 ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර බස්වහරක් භාවිතා කිරීම බොහෝ දුරට දක්නට ලැබේ. කටවහරට හුරු සමීප බස්වහරට වඩා ඔවුන් විසින් ම නිර්මාණය කර ගත් ඉතා සංයමයකින් යුතුව ඉදිරිපත් කළ හැකි භාෂා රටාවන් භාවිතා කරයි.

➽කොණ්ඩා විලාසිතා
බටහිර පන්නයට අනුව සකස් කර ගත් කොණ්ඩා විලාසිතා දක්නට ලැබේ.
➸ හිස කෙස් ගෙල දක්වා දිගු කිරීම සහ හිසකෙස් වර්ණ ගැන්වීම 
              ශිහාන් මිහිරංග    -hair cuts පසු කාලීනව වෙනස් කිරීම
              අමිල පෙරේරා
➸ සුරෙන්ද්‍ර පෙරේරා - රැවුල් විලාසිතා 

   මේවා ජනප්‍රිය අංග ලෙස සමකාලීන සමාජයේ තරුණයෝ  වැළඳ ගත්හ.

වැඩසටහන් විනිශ්චය මණ්ඩලය 

 වැඩසටහන් විිනිශ්චය මණ්ඩලය සඳහා ඉතා ප්‍රියමනාප හා ආකර්ෂණීය පෙනුමෙන් යුත් පුද්ගලයින් භාවිතා කිරිම ඉතා ජනප්‍රිය අංගයකි. ඔවුන්  අදාළ උපදෙස් දෙනු ලබන ආකාරය, තර්ක කරන ආකාරය, සිනාමුසු මුහුණ විලාසිතා හා වේශ නිරූපණය  තුළින් ජනතා ආකර්ෂණය වැඩසටහනට උපරිම ලෙස කටයුතු කරයි. බොහොමයක් රියැලිටි වැඩසටහන් වල විනිසුරු මණ්ඩලය සඳහා තෝරා ගන්නේ කවුරුන්ද යන්න තීරණය කරයි. එහි දී දේශපාලන චරිත, ජනප්‍රිය ගායකයින්, ක්‍රිකට් තරු යොදා ගැනීම වඩාත් ජනප්‍රිය අංගයක් ලෙස භාවිතා වේ. 

Day card, Class card, Hand Billනිර්මාණය කිරීම

සුපිරි තරු වල සේයා රූ අඩංගු කරමින් මේවා නිර්මාණය කරයි.  Logo එක ද භාවිතා කරයි.

ජනප්‍රියත්වයට පත්වන තරු, ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා සම්බන්ධ කර ගැනීම

ඉතාමත් ආකර්ෂණීය පෙනුමින් යුතු ජනප්‍රිය තරු නිරූපණ ක්ෂේත්‍රයට, ටෙලි නාට්‍යයට හා චිත්‍රපටවලට යොදා ගැනීම දක්නට ලැබේ.

අමිලා නදීෂානි
නදිනි ප්‍රේමදාස

Coversongs  සංස්කෘතිය හඳුන්වා දීම

 Reality වැඩසටහන් සඳහා Coversongs  සංස්කෘතිය හඳුන්වා දෙන්නේ Sirasa Super Star හරහා ය.

නිල් නුවන් පෙම්බරයි - Sirasa Super Star

උඩවැඩියා මලේ        - Derana Dream Star

 Slogen භාවිතය

Reality වැඩසටහනේ සාරය මෙමඟින් නිරූපණය කරන අතර එය ද ජනප්‍රිය අංගයක් ලෙස අදටද භාවිතා වේ.
ශ්‍රී ලාංකේය නවක ගායන තරු අභිෂේකයේ මෞලි මංගල්‍ය  -        Sirasa Super Star 
යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර                   -        Derana Dream Star

මේ ආකාරයට ඉහත කරුණු ඇසුරින් ජනප්‍රිය සංස්කෘතිය   හා එහි සමාජ බලපෑම හඳුනා ගත හැකිය.



-මංජරී-
























ඔපෙරා සහ කැන්ටාටා



              බටහිර සංගීතය යැයි කියූ පමණින් අපගේ අවධානය යොමු වන්නේ Classical music හෙවත් සම්භාව්‍ය සංගීතය කෙරෙන් ය. මෙම සම්භාව්‍ය සංගීතය යන පදය ව්‍යවහාරාත්මකව භාවිතා වීමට පටන් ගත්තේ 19 වන ශත වර්ෂයෙන් පසුව බිහි වුණු ජොහැන් සෙබෙස්තියන් බාක්  සහ ලුඞ්විග් වෑන් බීතෝවන් වැනි ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය සංගීතඥයන්ගේ මූලිකත්වයෙනි.Classical music හෙවත් සම්භාව්‍ය සංගීතයේ දී සංගීත ආකෘතීන් ප්‍රධාන තැනක් ගනී.මෙහිදී යොදා ගනු ලබන ප්‍රධාන සංගීත ආකෘති ලෙස , 
1. සිම්ෆනි හෙවත් සංධ්වනි
2. ඔපෙරා
3. කැන්ටාටා 
4. ඔරටෝරියෝ  

    බටහිර සංගීතය තුළ පවතින අන්තර් සංස්කෘතික ලක්ෂණ පිළිබඳව විමසා බැලීමේ දී ඔපෙරා සහ කැන්ටාටා යන ආකෘතීන් වැදගත් වේ.
ඔපෙරා 
   ඔපෙරා යන්න ලතින් බසින් වැඩ ලෙස අර්ථ දක්වන අතර එය ලතින් බසින් වැඩ හෝ ශ්‍රමය යන්න අර්ථ දක්වයි. ගැයුම් රැඟුම් හා නැටුම් යන සියල්ලෙහිම එකතුවකි. මෙහි දී නාට්‍යක පෙළ, ශෛලිය,  වේදිකාව සහ ආලෝකය අභියෝගයට ලක් කරයි. ප්‍රධාන වශයෙන්ම සංගීතය සහ සාහිත්‍ය මත පදනම්ව ඔපෙරාව බිහි වේ. ඉතාලියේ පැවති විවිධාකාර විනෝදාස්වාද ක්‍රියා පසුබිම් කර ගෙන ප්‍රථමයෙන්ම ඔපෙරාව බිහි විය.එහි දී අනෙකුත් ගීතමය නාට්‍ය සමඟ මේවා ප්‍රදර්ශනය කොට තිබේ. ඉතාලියට අමතරව ප්‍රංශය, ජර්මනිය හා එංගලන්තය ප්‍රමුඛ රටවල වඩාත් ශක්තිමත් කලා මාධ්‍ය වන්නේ ඔපෙරාවයි. 1575 වකවානුව තුල දී වංශක්කාරයන්ගේ ලෝකය පදනම් කර ගනිමින් කවිය සංගීතය හා මිශ්‍ර වි ඔපෙරාව  බිහි වු බව පැවසේ. අද වන විට හඳුනා ගෙන ඇති පැරණිතම ඔපෙරාව වන්නේ ජේකෝබි පෙරීගේ ‘ඩැෆ්නි’ ඔපෙරාවයි. මෙම ඔපෙරාව සම්භාව්‍ය ග්‍රික නාට්‍ය පුනර්ජීවය කිරිමේ අරමුණින් රචනා කොට තිබේ- ශෝකාන්තය පදනම් කර ගත් මුල් කාලීන ග්‍රීක නාට්‍ය සඳහා උත්තේජනයක් ලබා දීම සඳහා මෙය උපකාරි විය. නමුත් එය වර්තමානයේ දී රඟ දක්වනු ලබන්නේ නැත. 1600 දී ඔහු විසින්ම රචනා කරන ලද ‘යුරීඩීස්’ නම් ඔපෙරාව පැරණිතම ඔපෙරාව ලෙස තවමත් රඟ දක්වනු ලබයි. ප්‍රථම මහජන ඔපෙරා රඟහල  The Tetro san Cassian නමින් ඉතාලියේ දී විවෘත කරනු ලැබිය. මධ්‍යතන අවධිය තුළ දී වේදිකාව මත රඟ දක්වනු ලැබු බොහෝ ගීතමය නාට්‍ය සම්ප්‍රදායන්ට ලෞකික හා ආගමික බලපෑම ලැබි තිබේ. මෙයට කදිම නිදසුනක් ලෙස පර්සෙල්ගේ ඩිඩෝ සහ ඊනස් ඔපෙරාව හඳුන්වා දිය හැකි ය. නාට්‍යමය නිර්මාණයක් වශයෙන් 18 වන සියවසේ දී ඔපෙරාව ප්‍රබලව සමාජ බලවේගයක් බවට පත් වන අතර පුරාණ ග්‍රීක ගායන ක්‍රමයන් අනුව භාෂාණය හා ගායනය සමානුරූපිව එකතු වී ඔපෙරාව ක්‍රමයෙන් වර්ධනය විය.
  පසුකාලීනව ඔපෙරාවේ මුලිකම අරමුණ හා ශක්තිය බවට පත් වුයේ වංශවත් බලවත් රදල පංතියේ නිරුවත හෙළි කිරිමයි. එමෙන්ම රාජකීයන්ගේ ජිවිතවල සත්‍ය පැතිකඩ හා ඔවුන්ට වැඩ කළ පංතියේ රහස් සමාජය හෙළි කරන ලදි.ඔපෙරාවක පවතින්නේ ශෛලිගත කතනයකි. ඉතාම වැදගත් කරුණ වන්නේ ඔපෙරාවෙන් සංගිතය වෙන් කළ නොහැකි වීමයි. සාමුහකි කලා මාධ්‍යක් ලෙස මෙහි නැටුම්, ගැයුම්, රැඟුම්, සටන් කුසලතා, කරණම් මේ තුළ අන්තර්ගත වේ.ඔපෙරාවේ දී සංගිතය ද නාට්‍යමය ආකාරයට භාවිතා වන අතර මෙහි ජිව ගුණය රදා පවතින්නේ ස්වර රචනය, ස්වර සංයෝගය, රිද්ම සහ ජනශ්‍රැති පදාර්ථ මත වේ.  එමෙන්ම ඔපෙරාව නාට්‍යයේ සහ සංගිතයේ දිගු විමක් ලෙස හඳුනා ගත හැකිය. ඔපෙරාවේ දී භාවිතා වන සංගිතය තුළදී කටහඬට සුවිශේෂත්වයක් හිමි වේ. විශාල වාද්‍ය වෘන්දයක සහාය ලබා ගන්නා අතරතුරේ දී නාට්‍යයේ ජීව ගුණය තිව්‍ර කරමින් භාව ප්‍රකාශන තිව්‍ර කිරිමට කටහඬ ප්‍රබල ලෙස යොදා ගනු ලැබේ.මෙහිදි ගායකයන් සහ ඔවුන් රඟන චරිත වර්ග කරන්නේ ඔවුන්ගේ කට හඬ අනුවයි. ශ්‍රැති මට්ටම, වේගය, ස්වර ගුණය මත පිරිමි ගායකයන් මන්ද්‍ර, අති මන්ද්‍ර සහ තාර ස්වර මතත් ගායිකාවන්  උච්ච, අති තාර සහ අති උච්ච ලෙස වර්ග කරයි.මෙලෙස හඬ වර්ගිකරණය කොට ඇත්තේ සම්භාව්‍ය යුගයේදී ය.

        ඔපෙරා කලාවේ පෙරදිග නැඹුරුව දෙස විමසා බැලිමේදි චීනයේ පීකිං ඔපෙරා නාට්‍ය කලාව වැදගත් වනු ඇත. පෙරදිග නාට්‍ය කලාවේ රහස් අනාවරණය කරමින් පීකිං ඔපෙරාව බටහිර ලෝකය තුළ හඳුන්වා දෙනු ලැබුවේ චීන ජාතික ‘මෙයි ලන්ග්’ විසින් මීට වසර 80 කට පමණ පෙරදීය මෙමගින් චීන සංස්කෘතියේ විචිත්‍රවත් ඇඳුම් සහ මොස්තර නිර්මාණය, වේශ නිරුපණයන්  තුළින් එහි පවත්නා වු සෞම්‍ය ගුණය හා නිසල බව ප්‍රේක්ෂකයාට රස විඳිමට අවස්ථාව ලබා දීම මෙහි මුලික අරමුණ විය.





          ඔපෙරාවේ ලාංකිය ආභාසය දෙස විමසා බැලිමේදි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අමතක කළ නොහැකිය. එතුමන් විසින් නිර්මාණය කරන ලද අග්නි, මානස විල, සොඳුරු වර්ණදාසි නම් ඔපෙරා සුවිශේෂි වේ. නිර්මාණ කාර්යයත් නිර්මාණරුවාත් අතර ඇති අත්‍යන්ත සබඳතාව නිරුපණය කරන කෘතින් අතුරින් අග්නි ඔපෙරාව සුවිශේෂි වේ. පුරා දශක 5 ක කාලයක් මු`ඵල්ලේ ගීත නාට්‍ය හා බටහිර ඔපෙරාව ලත් අත්දැකිම් ඇසුරින් විශිෂ්ටතම කලා කෘතියක් ලෙස  අග්නි ඔපෙරාව හැඳින්විය හැකිය. අග්නි ඔපෙරාවේ අන්තර්ගතය දෙස බැලි්මේදී එහි එන ‘බැදලා බැදලා ගිනිපති බැදලා’ යන වදන්වලට පිළිතුරු සපයන ගිනි දෙවඟනගේ ආලාප ලක්ෂණ පෙන්නුම් කරයි. එමෙන්ම එහි එන පළමු සහ දෙවන ආලාප ඉන්දියානු ශෛලියටත්, තෙවන ආලාපය බටහිර ඔපෙරා ශෛලියට අනුගතවත් නිර්මාණය වී ඇත.  එහි සිව් වන කොටස දේශීය වැළපුම් නාද මාලා සිහි කරවයි. අග්නි ඔපෙරාව නිර්මාණය විම සඳහා වස්තු බිජය සැපයෙන්නේ ‘ප්‍රොමිතියස් බන්ධනය’ නම් ග්‍රීක පුරාවෘත්තය වුවත් එය සෘජුවම මේ සඳහා පාදක කර ගෙන නොමැත. මෙහිදී ග්‍රීක පුරාවෘත්තයක් පදනම් කර ගනිමින් බටහිර ගාම්භීර ඔපෙරා ලක්ෂණ වලට සමීප වීමට මෙම අග්නි ඔපෙරාව හරහා හැකියාව ලැබිණි. මෙහිදී ආරම්භයේදී වයලීන්, වියෝලා, චෙලෝ, ඩබල් බේස් යන තත් පවුල් වාද්‍ය භාණඩ සියල්ල එකතුවෙන් පිසිකාටෝ වාදනයක් ඉදිරිපත් කරයි. මෙහි එන දෙවියන්ගේ චරිත සඳහා සැකසුණු තේමා ගීත සංගීතය සඳහා ක්‍රිස්තියානි පල්ලියේ නැගෙන දැවැන්ත හාමනිවලින් සමන්විත ඔපෙරාත්මක වාද්‍ය ඛණ්ඩයක් යොදා ගෙන ඇත. මෙහිදී යොදා ගන්නා සමාන්තර ගායනා ක්‍රම බෞද්ධාගමික හෝ චීන සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරන ආගමික  සජ්ඣායනාවන්ද සිහිපත් කරයි. එමෙන්ම මානස විල නම් ඔපෙරාව බටහිර ඔපෙරාවේ සම්පුර්ණ පිටපතක් ලෙස ඉදිරිපත් නොකළ ද ඔපෙරාව වැනි දියුණු කලාංගයක් ශ්‍රි ලංකාව වැනි ආසියනු රටකට ගෝචර වන පරිදි නිර්මාණාත්මකව සළකුණු කිරිමට මෙමගින් උත්සහ ගෙන තිබේ. එය ලාංකීය දේශපාලන සංස්කෘතියට උචිත පරිදි නිර්මාණය වී තිබේ.


කැන්ටාටා 

       කැන්ටාටාවේ ඉතිහාසය දෙස අවධානය යොමු කිරිමේ දී එය 17 වන සියවස දක්වා දිව යන අතර එවකට ජර්මනියේ පැවති ගීත ආකෘති නව මාවතකට ගෙන එමින් නවතම ගීත ආකෘතියක් ලෙස කැන්ටාටා බිහි වේ. මෙය ආගමික ස්වරූපයක් ගන්නා අතර මෙහි දී සමුහ ගායනයන් මෙන්ම තනි තනි හඩවල් සහ යුගල ගායනයන්ද ඉස්මතු වේ. කැන්ටාටාවල දී වචනවල අර්ථ පැහැදිලි වීම අනිවාර්ය නොවන අතර හැඟිම් ප්‍රකාශනය තුළින් භක්තිය දැනවීිම ප්‍රධාන වේ. වාද්‍ය භාණ්ඩවලට වඩා මිනිස් කටහඬට මුල් තැන ලබා දෙමින් ආගමික ස්වරූපයක්  ගනු ලබන කැන්ටාටා සඳහා කදිම නිදසුන ලෙස කේමදාසයන්ගේ ‘පිරිනිවන් මංගල්‍යය’ හඳුන්වා දිය හැකිය. එය මෙතෙක් ලොව නිර්මාණය වු ප්‍රථම බෞද්ධ නැන්ටාටාව වේ. මහනුවර යුගයේදී ජනවහර තුළින් භාවිතයට ආ පද්‍යවලියක් ආශ්‍රයෙන් ජේ . ඊ සේදරමන් විසින් රචිත ‘බලියාග විචාරය’ කෘතියේ එන බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳව රචිත කවි උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම කැන්ටාටාව 2007 වෙසක් පොහොය නිමිත්තෙන් ඉන්දියාවේ බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට ගායනා කොට තිබේ.                                     (දිවයින- මිවිත අතිරේකය- ගයත්‍රි කේමදාස සමඟ අජිත් ) 

         මෙහිදී බටහිර සමුහ ගායන ක්‍රම  ශිල්පියක්  වන Alto, Tenor, suprano, Basse යන හඩ පරාස ඔස්සේ සමාන්තරව ගායනයෙහි යෙදී ඇති අතර බටහිර සංගීතයේදි ප්‍රබලව භාවිත වන චෙලෝවත් විටින් විට තබ්ලාවත්ල තම්මැට්ටමත් යොදා ගනිමින්  පිළිවලින් ඉන්දියානු සහ සිංහල ජන ගී නාද රටා ඒවාට මුසු වී කොට ඇත. සිතාරය සහ බටනලාව යොදා ගනිමින් ගජමන් නෝනාගේ දෙනිපිටියේ නුග රුක පැදි පෙළේ තාලය යොදා ගනිමින් සිංහල ජන  සංගීතය ද එයට මුසු කොට ඇත.


-මංජරී-

ස්වභාදහම් දිනිතියට ආශිර්වාදයක් වූ එහි ම්යුරු වූ දිය උල්පත....



                                      “ ගොම්මුන්නා කඳු වැටියයි  ළිහිණිය  කන්දයි
                                            දැදුරු ඔයේ දිය බිඳුවයි පත්තිරිප්පුවයි
                                        නුග සෙවණේ පහස ලබන දිය හොඳ ඇල්ලයි
                                           වට කරගත් මොරන්කන්ද වෑවල උතුරයි
                                                මගෙ රජ දහනයි    -    අපෙ රජ දහනයි ”

                                                               (සංකල්ප සංවාද සමඟ සංවේදනා - එස්- මාරුද්දනගේ)




 ස්වභාවදහම් දිනිතියගේ අපූර්වතම වූත්, ආශ්වාදනීය වූත්, සුන්දර වූත් ප්‍රතිමූර්තිය වන්නේ අප අවට ඇති සුන්දර පරිසරය යි. මිහිමත වසන සියලුම ජීවි සමූහයාගේ මෙන්ම එහි පවතින්නා වූ  අනෙකුත් සියලුම අජීවි වස්තූන්ගේ රජදහන බවට පත් වන්නේ ද සුන්දර පරිසර මාතාවයි. සජීවි ප්‍රාණියෙකුට සිය මව හැරුණු කොට මාතෘත්වයට සම කළ හැක්කක් ලෙසින් පරිසරය නැමැති මාතාව ගෙන හැර දැක්වීම යෝග්‍ය බවට පත් වන්නේ ජීවින්ගේ පැවැත්මට අවශ්‍ය මූලික සාධක වන ආහාර, පිරිසිදු ජලය හා වාතාශ්‍රය, බෙහෙත් ඖෂධ මෙන්ම වාසස්ථාන ආදී බොහෝ දේ මිල නොකොට අමිල ලෙසින් ලබා දෙන බැවිනි. මිහිතලය  පවතින්නේ “මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙනි.යැයි ප්‍රකාශ කිරීම ම මෙහි වූ උත්තරීතරත්වය ප්‍රත්‍යක්ෂ කර හමාරය.  
     ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙසින් අප වඩාත් භාග්‍යවන්ත වන්නේ ලක් මාතාවගේ ගෙල බැඳි රන් දමක් පරිද්දෙන් ඇගේ සුන්දරත්වය වඩවාලන වන උයන්, මල් උයන් පල උයන්ගෙන් විචිත්‍රවත් වූත්, ධවල පැහැගත් දියදහරාවන් හා ගංගා, ඇළදොළ, අහස් කුස පරයා නැග ගත් උස් කඳු මුදුන් ද, ඒවා පිස සිඹ හමනා මද පවනින් ද, නේක විධ වන සිව්පාවුන්ගෙන් ද, කන්කළු නඳින් ගී ගයනා සියොතුන්ගෙන් ද, ගහනය වූත් සශ්‍රීකත්වයෙන්  ආඪ්‍ය වූත්, නිකලැල් ස්වභාව සෞන්දර්යයකින් යුතු පරිසර පද්ධතියක් ඇයට උරුම වීම නිසාවෙනි. සෞම්‍ය දේශගුණයකින් හෙබි, පාරිසරික සෞන්දර්යයෙන් අනූන මන බඳින දසුනින් නෙත් සිත් වසඟ කොට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ඇයට හැකි වූයේ ද නුදුරේ දී හැකි වන්නේ ද උක්ත කරුණ නිසාවෙන්මය.
   එමෙන්ම මිහිමත පය ස්පර්ශ වන මොහොතක් පාසාම දැනෙන සංවේදනාවන් තුළින් කවි සිතුවිලි පහළ වන්නටත්, නෙත් මානයේ ගැටෙනා මනහර දසුනින් ගත සිත පුබුදුවාලීමටත් සමත් සොඳුරු තෝතැනි  ලක් මවට නොඅඩුව හිමිව ඇත.
   ඒ අතුරින් වන ලැහැබින්, ගිරි ශිඛරින්, ගිරි කඳුරින් ගහනය වූ මධ්‍යම කඳුකරයෙහි පිහිටි සුන්දරත්වය අන් කවරකටත් නොදෙවෙනිය. එයිනුත් අතීතයේ සිට උඩරට රාජධානියේ ශ්‍රී විභූතිය කියා පෑ සෙංකඩගල පුරවරය හෙවත් සුන්දර මහනුවර නගරය මන බඳින නෙත් වසඟ කරන පාරිසරික සුන්දරත්වයෙන් අනූන  නගරයක් වශයෙන් පිළිගැනීමට ලක් වන්නේ දෙස් විදෙස් සංචාරක ආකර්ශණය එයට නොමඳව ලැබෙන නිසාවෙනි. 
  මෙහිදී සඳහන් කළ යුතු වැදගත් ම කාරණය වන්නේ භූගෝලීය පිහිටීම , ස්වභාවික සෞන්දර්ය, දේශගුණය, ආගමික හා සංස්කෘතික වටිනාකම, පුරාවිද්‍යාත්මක වටිනාකම, ආරක්ෂාව මෙන්ම නුවර වැසියන් තුළ පවත්නා සිත් ඇද ගන්නා සුළු ආකල්ප හේතු කොට ගෙන එහි වූ සුන්දරත්වය තව තවත් ඔප මට්ටම් වීමයි- මෙවන් වූ සුවිශේෂි පාරිසරික පිහිටීම පිළිබඳව වීමසීමේ දී උස් කඳු මතින් ගලා හැලෙනා ධවල පැහැ ගත් දිය දහරාවන්, වනස්පතීන්  මෙන්ම  බෝගම්බර වැව හා  නේක විධ ශාක හා ජෛව පද්ධතියෙන් යුතු  එහි වැව් තාවල්ලත් සුවිශේෂී වේ. මහවැලි , කැලණි , කළු හා වලවේ යන  සිව් මහා ගංගාවන් සමනොල අඩවියෙන් ආරම්භ වී මහ සයුර තෙක් අපූරුවට ගලා බසින කල්හි එම සිව් මහා ගංගාවන් පෝෂණය කිරීමෙහිලා කුඩා කුඩා දිය දහරාවන් එකතුවීමෙන් නිම වන ඇළදොල ද මන වඩන දසුන් ඔස්සේ පාරිසරික සුන්දරත්වය හා එහි චමත්කාරය ඔද වඩාලන්නට සමත් වෙයි.  එහිදී සුන්දර මහවැලි නදිය සිප ගැනීමට නන් දෙසින් ගලා එන දිය දහරාවන් අතුරින් දැදුරු ඔයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. 
      කුරුණෑගල දිස්ත්‍රික්කයේ  රිදීගම හා මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් ගොම්මුන්නා නම් කඳු මුදුනේ  සිට ආරම්භ වන්නකි, දැදුරු ඔය. මෙම ගොම්මුන්නා කන්ද  අතරමැදි කලාපයේ පිහිටි සුවිශේෂි පරිසර පද්ධතියකි. දැදුරු ඔය දිග අනුව ශ්‍රී ලංකාවේ හත් වන ස්ථානය හිමි කර ගන්නා අතර දිගින් එය 142 km  ක්  වේ. එනම් සැතපුම් 08 ක් පමණ වේ.  ඉතා කුඩා කාලයක දී මෙහි ජල මට්ටම ඉතා සීඝ්‍ර ලෙස ඉහල යන බව සැලකේ. මේ නිසාම ‘අප්පට පුතේ ’යැයි කියූ කතාවක් පිළිබඳව ජනප්‍රවාදයේ පැවත එයි. බතලගොඩ ජලාශය පෝෂණය වන්නේ ද දැදුරු ඔය මඟින් වේ. එමෙන්ම ලංකාවට ආවේණික ජීවි විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන ගොම්මුන්නාව දැදුරු ඔයේ ජල පෝෂක වනාන්තරයකි. දැදුරු ඔයේ ආරම්භය මොරන්කන්ද ග්‍රාමය කේන්ද්‍ර කර ගෙන ආරම්භ වන අතර එහි ජල පෝෂක ප්‍රදේශය වන්නේ අක්කර 25000කට වැඩි වපසරියකින් යුතු ගොම්මුන්නා කන්දයි.
  ග්‍රාමයේ උගත්   වියතෙකු ලෙසින් කටයුතු කරන එස් .මාරුද්දනගේ මහතා විසින් රචනා කරන ලද , ලිපිය ආරම්භයේ දී සඳහන් කරන ලද ග්‍රාමයේ ගීතයේ සඳහන් වන පරිදි ගොම්මුන්නා කඳු වැටිය, ළිහිණියාගල කන්ද හා පත්තිරිප්පු කන්දෙන් වට වූ සුන්දර භූමියක පිහිටියා වූ මොරන්කන්ද ග්‍රාමය දිගු ඉතිහාසයක් හිමි එමෙන්ම සොඳුරු පුරාවෘත්තයක් හිමි නිස්කලංක ගම් පියසකි. මොර නැමැති ශාකය විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබූ බැවින් ආරම්භයේ දී මොරගහකන්ද ලෙසින්  ගම්මානයට නම් පට බැඳිණි.
 මෙරට බි්‍රතාන්‍ය පාලන සමයේ  දී මෙරටට ගෙන්වා ලද දකුණු ඉන්දීය දෙමළ කුලී වතු කම්කරුවන් මෙහි මුල් පදිංචිකරුවන් විය. එහිදී ඔවුන් මෙම ‘මොරගහකන්ද’ යන නාමය උච්චාරණය කිරීම අපහසු වූ බැවින් ඒ වෙනුවට මොරන්කන්ද යන නාමය යොදා ගන්නා ලද බව පැවසේ. එතැන් සිට මෙම  ගම්මානය හඳුන්වන්නේ  මෙම නාමයෙනි. ඉන් අනතුරුව ‘ඊ.එල් මහත්තයා’ නමින්  එකල  ගම්මුන් හැඳින් වූ බි්‍රතාන්‍ය ජාතිකයා විසින් විශාල වන ගහනයකින් යුතු මෙම භූමිය කැබලි කොට ඒවායෙහි සේවය කළ පුද්ගලයින් හට එම ඉඩම් අත්පත් කර ගෙන තමා සතු කර ගැනීමට අවස්ථාව ලබා දුන් බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. එතැන් සිට වතු කම්කරුවන් පිරිස මේ ප්‍රදේශය අත හැර වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වී ඇත.
                                                                                                 
   දුරාතීතයේ සිටම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට උරුමකම් කියන මෙම ගම් පියස තේ, පොල්, කොකෝවා, පුවක්  යන ප්‍රධාන භෝගයන්ට අමතරව  සාදික්කා, කරාබු, කුරුදු, ගම්මිරිස් ආදි කුළු බඩු මෙන්ම කොස්, දෙල්, රඹූටන්, ජම්බු ආදියෙන් මෙන්ම ගව සම්පතින්ද  ආඪ්‍ය වූ ස්වයංපෝෂී ඒකකයකි. එමෙන්ම පිරිසිදු උල්පත් ජලයෙන් පිරි ඉතිරී යන ළිං , පොකුණු හා  ඇළදොල  පිහිටීම ද මෙහි ගම් වැසියන්  ස්වභාව දහමින් ලද ඉමහත් දායාදයක් ලෙසට සැලකිය හැකිය. සරල දිවි පැවැත්මකට උරුමකම් කියන සැදැහැති බෞද්ධ ගැමියන් පිරිසක් ද මෙහි වාසය කරයි. වර්ෂ 1952 ඩී.එස්  සේනානායක පාලන සමය තුළ ගම පුළුල් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ  පිහිට වූ ජනපදවාස මුල් කර ගෙන අද වන විට මෙහි  ව්‍යාප්ත ව ඇති මුළු පවුල් සංඛ්‍යාව 400 කට අධික වේ.

 මොරන්කන්ද ගම් පියසෙහිම ඉපිද එහිම හැදී වැඩී එහි වූ සුන්දරත්වයට නිතැතින් ඇළුම් කරන වියත් උගත් බුද්ධිමතෙකු වන සෝමපාල මාරුද්දනගේ මහතා කවියෙකු, ග්‍රන්ථ රචකයෙකු මෙන්ම තෙලි තුඩින් නෙක සිතුම් මවන සිත්තරුවකු වශයෙන් ද කලාවට ඉමහත් සේවයක් ඉටු කරන්නෙකු වේ. මෙම සොඳුරු මිනිසා ගම් පියසේ පාරිසරික සුන්දරත්වය විමසීමෙහිලා  මෙන්ම සුන්දර දැදුරු ඔයෙහි ආරම්භක ජල ම්‍රලාශ්‍රය සම්බන්ධ හා ඊට අවැසි තොරතුරු ලබා ගැනීමේ දී ලබා දුන් සහයෝගය මෙහිලා තුති පූර්වකව සිහිපත් කළ යුතුය. 
ග්‍රාමයේ ප්‍රධාන නායකයා වශයෙන් කටයුතු කරන ගෞරවනීය නායක මා හිමිපාණන්වහන්සේ මෙන්ම ග්‍රාමසේවක නිලධාරීතුමා ද මේ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දුණි. 
         මෙවන් සුන්දර සශ්‍රීක පරිසරයකට උරුමකම් කියන මොරන්කන්ද ග්‍රාමයේ උතුරු කොටසේ එනම් වර්තමානයේ වෑවල උතුර නමින් හැඳින්වෙන ප්‍රදේශය මුල් කර ගෙන පිහිටියා වූ  01 ( එකේ ) වල 02(දෙකේ)වල නමින් ජන වහරේ පැවත එන දැදුරු ඔයෙහි ප්‍රධාන ජල මූලාශ්‍රය පිළිබඳව කෙරෙන සොඳුරු විපරම මෙතැන් සිට ඉදිරියට ඇදෙන්නේ එහි වූ සුන්දරත්වය හා අපූර්වත්වය කියා පෑමට ය.
        

 “උපන් බිමට වැඩිය තැනක් - කොහෙද තියෙන්නේ ----” යනුවෙන් විශාරද නන්දා මාලනිය විසින් ගයන ගීයක පැදි පෙළ සිහි ගන්වමින් කුඩා කල පටන් මා  හැදී වැඩුණු සොඳුරු ගම් පියසෙහි සුන්දරත්වය ඔද වඩවාලන ඇගේ ගෙල බැඳි රන් දමක් බඳු දැදුරු ඔයෙහි ප්‍රධාන ජල මූලාශ්‍රය හා එම ඇල මාර්ගයෙහි සුල මුල සොයා ගිය ගමනේ එහි ඓතිහාසික සාධක පිළිබඳව අදහස් දක්වමින් එස් - මාරුද්දනගේ මහතා ප්‍රකාශ කර සිටියේ ;
  “ඉතිහාසයේ මේ පිළිබඳව සඳහන් තොරතුරු මේ රටෙ උඩරට රාජධානියේ අවසන් පාලකයා වශයෙන් රාජාභිෂේකය ලබපු  කන්නසාමි කුමාරයා  නැත්තන්  ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ  කාලය  දක්වා දිව යන්නක් විදියට සළකන්න පුළුවන්මේ. ගැන සනාථ කරන්න පුළුවන් ඓතිහාසික මූලාශ්‍ර විදියට ගත්තොත්, හිඟුල්වල ප්‍රදේශයේ පිහිටලා තියෙන  කිරි කොස්ගහමුල රාජසිංහ රජ සමයේ පිහිටුවලා  තියෙන  සෙල්ලිපියට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ  රජතුමාගේ ගමන් මාර්ගයක් මෙම දැදුරු ඔයේ ජල මූලාශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය හරහා වැටී තිබුණු බවටත් ළිහිණියාගල කන්දේ  රජතුමා ගිමන් හරින ලද ගල් ගුහාවක් ඇති බවටත් ඔප්පු කර ගන්න පුළුවන්---”
   මෙම ප්‍රකාශයට අනුව සනාථ කර ගත හැකි වන්නේ  මේ ආශ්‍රිත ප්‍රදේශය  පාරිසරික සුන්දරත්වය අතින් මෙන් ම ඓතිහාසික වශයෙන්  ද වැදගත්කමක් උසුලන බවයි.  එමෙන්ම ගම් වැසියන් විශ්වාස කරන ආකාරයට මෙහි ඇති  විශාල ගල්පර යටින් මුතු මැණික් ආදී වටිනා වස්තු පවතින නිධන් පවතින බවත්, එහි වූ ඇතැම් ගල් පර මත ඒ හා සම්බන්ධ  විවිධ සංකේතයන් සළකුණු කොට ඇති බවත්, ඒවා මඟින් සංකේතවත් කරන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට අපහසු බවත්, ඒවා ගොඩ ගැනීමට යමෙකු උත්සාහ කළහොත් ජලයට අරක් ගත් රකුසකු විත් එම ස්ථානයේ දීම බිලි ගන්නා බවත්  ගැමියෝ විශ්වාස කරති. 
    උක්ත ඓතිහාසික හා සමාජීය සාධක විමසා බැලීමෙන් අනතුරුව දැදුරු ඔයෙහි ප්‍රධාන ජල මූලාශ්‍රයෙහි මෙන්ම ඒ අවට පාරිසරික සුන්දරත්වය මෙතැන් සිට මනෝ රූපීව විඳ ගනිමු. ගොම්මුන්නා කන්ද ළිහිණියාගල කන්ද හා පත්තිරිප්පු කන්ද මධ්‍යයේ පිහිටි ස්වාභාවික ජල උල්පත ඇසුරින් මෙම අපූරු ජල මූලාශ්‍රය නිර්මාණය වී ඇත. මේ ආශ්‍රිත  භු ගෝලීය පිහිටීම දෙස අවධානය යොමු කිරීමේ දිී  උස් කඳු මුදුන් වලින් සමන්විත එමෙන් ම බෑවුම් හා ප්‍රපාතවලින් යුතු අඩු ජනාවාස සහිත, වන ගහනය අධික පරිසරයක් ලෙස හඳුන්වා දිය හැකිය.

  ගොම්මුන්නා කන්ද, ළිහිණියාගල කන්ද හා පත්තිරිප්පු කන්ද මධ්‍යයේ පිහිටි මෙම ජල උල්පතින් වෑහෙන දිය දහර වන ගොමු, තුරු ගොමු අතරින් රිංගා පහළට ගලා බසින්නේ තවත් කුඩා කුඩා දිය දහරාවන් හා මුසු වෙමිනි. එහිදී එකේ වල නමින් හඳුන්වන ස්ථානය පොදු පරිහරණය සඳහා වෙන් වන්නේ, ගම්මුන් එම ස්ථානය ස්නානය කිරීමට යොදා ගන්නා නිසාවෙනි. එතැන් සිට ඇදෙන දිය දහර  විශාල ගල් පර දෙකක් අතරින් මතුව සුදෝ සුදු පැහැයෙන් ගලා හැලෙන්නේ දෙකේ වල නමින් හැඳින්වෙන ස්ථානයට ය.ගල් පර්වතය මත සිට දියට පැන දිය බුං ගැසීමට කදිම ලෙස මෙය සැකසී ඇති නිසා මෙය ද දෙකේ වල ලෙසින් ගම්මුන් හඳුන්වයි. එහිදී සුදෝ සුදු කිරි පෙණ පිඩු නංවමින් වල මතට ජලය වැටෙන විටත්, ඉන් ජල බිඳිති විසිරෙන විටත් මැවෙන්නේ චිත්තාකර්ෂණීය සිතුවමකි. ජබර පඳුරින් වට කොට ගත් වලට ජලය පිරී එම ජලය උතුරා ගොස් ගල් පර අතරින් ගලා යන්නේ එහි වූ සුන්දරත්වය මෙන්ම  අපූර්වත්වය ද  පරිසරයට එකතු කරමිනි. ගල් පර අතර සැඟව ගත් කක්කුට්ටන්ගේ හා ගෙම්බන්ගේ නාදයන් ද, දිය පහර පහළට බසින විට නඟන ‘මුනු මුනු ’ නඳත් එක් වූ කළ මැවෙන්නේ අපූර්ව සංගීත රිද්මයකි.  ඉඳ හිට කෑ ගසන කොරවක්කන්ගේ නාදයත්, චිරීස්--- ච්‍රෑස්--- හඬින් වනය දෙවනත් කරන රිලවුන්ගේ නාදයත් මුසු වූ කළ මැවෙන පරිසරයේ ගුප්ත බවද මෙහි විටෙක දිස් වේ.
      අඩු ජනාවාසකරණයත් , වනස්පතීන්ගෙන් ගහනය වූ පරිසරය නිසාත් මෙහි වූ සුන්දරත්වයට කිසිදු  ලෙසකින් හානියක් මෙතෙක් සිදු වී නොමැත- පාරිසරික සුන්දරත්වය අනූන ලෙස පිහිටියා වූ මෙහි ස්නානය කිරීම සඳහාත් , එහි සිසිලස හා පහස පිරි සුන්දරත්වය විඳ ගැනීමටත් නේක දෙසින් පිරිස් මෙය කරා ඇදී එයි- ගලා හැලෙන දිය දහරේ නිසල හඬ විඳිමින් සිත් සනසන , සිත් පිනවන  සොබාදහමේ අපූර්ව හඬට සවන් යොමමින්  එහි වූ ගල් තලාව මත හිඳ බවුන් වැඩීමට තරම් මනස්කාන්ත නිසල වූ පරිසරයක් මෙය සතු වේ.  


ජල මූලාශ්‍රය ආශ්‍රිත ජෛව විවිධත්වය

  මේ ආශ්‍රිත ජෛව විවිධත්වය දෙස අවධානය යොමු කිරීමේ දී ඒකදේශික පක්ෂීන් මෙන්ම සිව් පා සතුන් හා උරග විශේෂයන් ද දැක ගත හැකිය. වලි කුකුළා, කෑරලා, ඇටි කුකුළා, පිළිහුඩුවා ආදී පක්ෂීන්ද සුදු කොකා , මයිනා,  සිවුරු හොරා,  බකමූණා, දෙමලිච්චා, කෑදැත්තා ආදි සංචරක පක්ෂීන් ද වැලි මුවා, මී මින්නා, දඬු ලේනා, ඉරි ලේනා, කලවැද්දා, රිලවා, වල් ඌරා, ඉත්තෑවා  වැනි සිව් පා සතුන් ද මේ ආශ්‍රීත ප්‍රදේශයෙහි සුලභව දක්නට ලැබෙයි. කරවලා, තිත් පොළඟා, නාගයා, ගැරඬියා, ඇහැටුල්ලා, තලගොයා ආදි උරග විශේෂයන් ද දක්නට ලැබේ. ජලාශ්‍රිත මත්ස්‍ය විශේෂ ලෙස  තිත්තයා, කනයියා, ඉස්සා, පෙතියා  වැනි මත්ස්‍යයින් ද හමු වේ.
දැදුරු ඔය පරිහරණයේ දී පාරිසරික වශයෙන් හානි දායක මට්ටමේ ක්‍රියාකාරකම් මිනිස් ප්‍රජාව මඟින් සිදු නොවීම නිසා පරිසර සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවති. එමෙන් ම මේ ආශ්‍රිතව දිවි ගෙවන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන අක්කර 20 කට ආසන්න ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්තව පවතින සශ්‍රීක වී ගොවිතැන  සඳහා අවශ්‍ය ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ ද මෙයයි. එමෙන්ම සරුසාර තේ වගාවක් මෙන්ම ගම්මිරිස් හා කෝපි වගාවන් ද මේ ආශ්‍රිත ප්‍රදේශය පුරාවට දක්නට ලැබේ. මේ ආශ්‍රිතව වෙසෙන මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන ඉස්සන් ඇතැම් විට ගම්මුන් සිය ආහාර වේල සඳහා එක් කර ගනී. එමෙන්ම  මෙහි වෙසෙන කුඩා, කුඩා විසිතුරු මසුන්  ජල බඳුන් වලට අල්ලා ගෙන  මාළු ටැංකිවලට දැමීම සඳහා රැගෙන යාමට ද මෙහි පැමිණෙන ලොකු  කුඩා කවුරුත් අමතක නොකරති.
මෙලෙසින් සියල්ලන්ගෙන් සශ්‍රීක වූ වටපිටාවක් හා ස්වභාව සෞන්දර්යයයෙන් අනූන පරිසරයක් මෙම ජල මූලාශ්‍රය සතු වන බවට පසක් කිරිීමට  තවත් සාක්ෂ්‍යයන්  කුමටදැයි හැඟේ. 


  ල මූලාශ්‍රය ආශ්‍රිත බෝග වගාවන්
 දැදුරු ඔයේ ප්‍රධාන ජල උල්පත අවට පරිසරයේ ශාක හා ජෛව විවිධත්වය දෙස අවධානය යොමු කිරීමේ දී එහි නා, ඇහැළ, රුක් අත්තතන, මැහෝගනී, බුරල, අත්කැන්ද කුඔුක් , දුම්මැල්ල, අන්කැන්ද  ආදී ඖෂධීය වටිනාකමින් යුතු ශාකයන් මෙන්ම පොල්, පුවක්, කිතුල්, දූරියන්, කොස් හා දෙල් ආදී වු ඒක දේශික ශාක පද්ධතියක් මෙන්ම කොකෝවා, සාදික්කා, ගම්මිරිස්, ගොරකා  ආදී සුළු අපනයන භෝගයන්ගෙන් ද මෙහි ශාක පද්ධතිය සමන්විත වේ.උස් කඳු මුදුනක සිට බෑවුම් සහිත ප්‍රපාතයක් දක්වා අඩි පාරක් ඔස්සේ බැස යන කළ එහි වූ ගමන් පහසුවට අත් වාරු සපයන්නක් ලෙසින් ස්වභාවදහම් දිනිතිය විසින් නිමවන ලද සවිමත් එමෙන්ම විශාල ලෙස වැඩුණු වැල් රාශියක් හමු වේ.
මේ කරා ළඟා වීමට යා යුතු මාර්ගය අපට සිහි ගන්වන්නේ සූරිය අරණ  සිනමා සිත්තම රූ ගත කළ සුනදර  මී මුරේ ප්‍රදේශය යි. කුඩා මී මුරේ ලෙසින් හැඳින්වීමට තරම් එහි වූ සුන්දරත්වය අපමණ ය.

    මෙලෙසින්  මොරන්කන්ද ග්‍රාමයෙන් හා ගොම්මුන්නාව කඳු මුදුනේ සිට කුඩා දිය පහරවල් දෙකක් ලෙසින් ඇරඹෙන දිය දහර කෙමෙන් තවත් ඇළ මාර්ග 12 කින් පමණ පෝෂණය වී විශාල දිය පහරක් බවට පත් වී ඉන් අනතුරුව කුරුණෑගල සහ පුත්තලම  දිස්ත්‍රික්කවල පිහිටි කෙත් සමූහය ද පෝෂණය කරමින්  කිලෝ මීටර් 142 ක් දුරට ගලා ගෙන ගොස් හලාවතින් මහ සමුදුර සිප ගන්නේ දැදුරු ඔය යන නාමයෙනි.මෙම ඔයෙහි සුල මුල සොයා ගිය ගමනෙහි එහි ප්‍රධාන ජල මූලාශ්‍රය  හෙවත් මව් උල්පත සතු පාරිසරික සුන්දරත්වය පිළිබඳ පුවත මෙලෙසින් සමාප්තිය සනිටුහන් කළ ද මෙහි වූ ආශ්වාදනීය වූත් මනෝරම්‍ය වූත් පාරිසරික සෞන්දර්යය ලක්මව උදෙසා සදා සුරැකෙනු  ඇත.



 ආශ්‍රිත මූලාශ්‍ර
      ආශ්‍රිත ග්‍රන්ථ
1. මාරුද්දනගේ , එස් , සංකල්ප සංවාද සමඟ සංවේදනා , කර්තෘ ප්‍රකාශනයකි-

 නූතන ලිපි 
1.www.lankadeepa.lk
2.www.divaina.com
3.https://si.m.wikipedia.org
4.https://lankanews.com

          සම්මූඛ සාකච්ඡා
එස් - මාරුද්දනගේ මහතා


-මංජරිී-

Tuesday, 28 May 2019

දැඩිමුණ්ඩ දේවාලය ආශ්‍රිත සාම්ප්‍රදායික සන්නිවේදනය



   කෑගල්ල දිස්ත්‍රික්ක වාහල දේවතා  බණ්ඩාර නමින් ද ප්‍රසිද්ධ විය.එමෙන්ම දෙවිනුවර සිට අලුත් නුවරට වැඩම වූවා යැයි සැළකෙන උපුල්වන් දෙවියන් ද මෙනමින් පුද ලබා ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු එම දෙව් රුව විෂ්ණු දෙවියන්ගේ පිළිරුවක් බවට හඳුනා ගෙන එය මහනුවරට වැඩම වන ලදී. ඉන් පසුව එම දෙවොල සමීපයෙහි ඉදි කෙරුණු නව දේවාලයෙහි ප්‍රාදේශික දෙවි කෙනෙකුන් ලෙස දැඩි මුණ්ඩ දෙවියන් පිදුම්
 ලබන ලදී.

 ගඟබඩ කෝරළය මැද පත්තුවට අයත් අලුත් නුවර ග්‍රාමයෙහි මෙම දේවාලය පිහිටුවා ඇත. මෙම දේවාලයෙහි දේවත්වයෙන් පිදුම් ලබන දැඩි මුණ්ඩ දෙවිඳුන් වරෙක උපුල්වන් දෙවියන්ගේත්, වරෙක විෂ්ණු දෙවියන්ගේත් අධිකාරම්වරයා  වශයෙන් කටයුතු කොට ඇත. එමෙන්ම ඇම්බැක්කේ දේවාලයට අධිගෘහිතව වැඩ වසන්නා වූ කතරගම දෙවියන්ගේ ද අධිකාරම් වශයෙන් ද කටයුතු කොට ඇති බැවින් මෙම දෙවියන්ද
 බෞද්ධ ස්වදේශික දෙවි කෙනෙකුන් වශයෙන් මෙන්ම අමනුෂ්‍ය බලවේග සිඳලන, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින දෙවි කෙනෙකුන් ලෙස මෙම දෙවියන්  බැතිමතුන්ගේ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වේ. දැඩි මුණ්ඩ දේවාලය ආශ්‍රිත පුද පූජා හා අභිචාර විධි තුළින් එයට ආවේණික සාම්ප්‍රදායික සන්නිවේදනය හඳුනා ගත හැකිය.

රන් ආයුධ එසවීමේ චාරිත්‍රය 
      දැඩි මුණ්ඩ දේවාලයෙහි වාර්ෂික පෙරහැර මංගල්‍යය අවසානයේදී මළුව ගෙවැඩීමේ  පුරාණ චාරිත්‍රය ඉටු කිරීමෙන් පසුව සිදු කරන චාරිත්‍රය වන්නේ මෙම රන් ආයුධ එසවීමේ චාරිත්‍රයයි. මෙහිදී දැඩි මුණ්ඩ දෙවියන්ගේ දේවාභරණ චාරිත්‍රානුකුලව වැඩ සිටි මාළිගයෙන් පිටතට වැඩම වීම සිදු කරයි. මෙහිදි පළමුව  දේවාභරණ සුවඳ පැනින් නහවා සමන් පිච්ච මල් වැල් වලින් සරසයි. මෙහිදී මල් මාලා සඳහා විශේෂයෙන් සමන් පිච්ච මල් පමණක් උපයෝගී කර ගන්නේ දෙවියන් සතු පාරිශුද්ධ භාවය නිරූපණය කිරීමටයි. මෙය ජන වහරේ හෝල් වැල් ආභරණ ලෙස හඳුන්වයි. මෙම දේවාභරණ අතර දැඩි මුණ්ඩ දෙවියන්ගේ ප්‍රධාන ආයුධය ලෙසට සැළකෙන වේවැල හෙවත් මුගුර රනින් කරන ලද මංජුසාවක බහාලයි. විශේෂයෙන්ම දැඩි මුණ්ඩ දෙවියන් යක්ෂයන්ට අධිපති දෙවි කෙනෙක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙහිදී යක්ෂයින් දමනය කිරීමට හා යකුන් ලවා වැඩ ගැනීමට දෙවියන්ගේ වේවැල උපයෝගී කර ගෙන තිබේ. දේවාභරණ පිටතට වැඩම වීමෙන් පසුව ඒවා බැතිමතුන්ගේ හිස මත ස්පර්ශ වීමට සලස්වයි.එමගින් අමනුෂ්‍යය උපද්‍රවවලින් වැළකීමත්, දේවාශිර්වාදය ලබා ගැනීමත් අපේක්ෂා කරයි.

කිරි ඉතිරවීමේ මංගල්‍යය
  මෙය මුට්ටි නැවීමේ මංගල්‍යය වශයෙන් ද හඳුන්වයි. මෙම චාරිත්‍රය දේවාලය ආශ්‍රිතව සිදු කරන ප්‍රධාන චාරිත්‍රයකි.මෙය සාම්ප්‍රදායික ගැමි ජනතාව තුළ දෙවියන් හා දෙවියන්ගේ බලය පිළිබඳ පැවති විශ්වාසය ප්‍රායෝගිකව ප්‍රකට කර වූ අභිචාරමය උත්සවයකි. කෘෂිකාර්මික ගැමි සමාජයේ ගැමියාගේ වැව, කුඹුරු යාය, ගව මහීෂාදිනාගේ මෙන්ම ගම් වැසියන්ගේ ආරක්ෂාව, ශෂ්‍ය සම්පත්තිය ඉෂ්ට සිද්ධ කර  ගැනීමටද තමන් හට පිහාටාධාර වූ කෘත ගුණ සැළකීමක් ලෙස මෙම උත්සවය පවත්වයි. තම අස්වැන්න නෙළා ගෙට ගැනීමෙන් පසුව දෙවියන් උදෙසා  අක්යාල වෙන් කිරිම (ශුද්ධ වූ කොටස) සිදු කරයි. මෙහිදී දැඩි මුණ්ඩ දෙවියන් උදෙසා අඩුක්කු කංකාරිය නමින් කිරි ඉතිර වීම සිදු කළහ. මෙහිදී අලුත් සහල් එකතු කොට වැව් බැම්මේ කිරි ගහක් යටට ගෙන ගොස් එහි මඩුවක් ඉදි කොට එතුළ බුලත්, පුවක් සියය බැගින් පූජා කොට අනතුරුව අලුත් සහල් මැටි බඳුන් තුනකට දමා පොල් කිරි යොදා කිරි බත් පිස දෙවියන් උදෙසා පූජා කරයි. මෙහිදි ගම් වැසියන්ගේ සෞඛ්‍ය, වැව ,ගව සම්පත්තිය හා කුඹුර අරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියි. මේ සඳහා ස්ත්‍රී සහභාගිත්වයක් නොමැත.

නානුමුර මංගල්‍යය
 අලුත් නුවර දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන මංගල්‍යය සතරින් එකක් වූ නානුමුර මංගල්‍යය අලුත් අවුරුදු උළෙලේ එක් කොටසක් වශයෙන් අප්‍රේල් මාසයේදී පවත්වනු ලබයි. අලුත් අවුරුදු චාරිත්‍රානුකුලව නොනගතය කාලය තුළ දේවාලය වසා තැබෙන අතර එය විවෘත වන්නේ  නානුමුර මංගල්‍යය පැවැත්වීමෙන් අනතුරුවය. මෙම මංගල්‍යය සඳහා අලුත් නුවර දේවාලයට නානු ලැබෙන්නේ මහනුවර ශ්‍රී නාථ දේවාලයෙනි. මෙහිදී චාරිත්‍රානුකුලව පිළියෙල කරන ලද නානු කුඩා මුට්ටි වලට  පුරවා ලබා දෙයි. එලෙස ලබා දෙන නානු පෙරහැරකින් දේවාලය වෙත රැගෙන විත් දේවාලය ඇති මාර්ගයේ ගසක අත්තක එල්ලනු ලබයි. එතැන් සිට ඇතෙකු පිට පෙරහැරකින් ඒවා දේවාලය කරා රැගෙන එයි. ඉන්පසු එයට වෙනත් පැගිරි ද්‍රව්‍ය මිශ්‍ර කොට ප්‍රථමයෙන් දේවාභරණ සියල්ල නහවා පිරිසිදු කරයි. ඉන් පසුව රැස් වන සියලු දෙනාටම එම නානු හිසෙහි ගැල්වීමට ඉඩ සලස්වයි. එලෙස දේවාභරණ වල ස්පර්ශ වූ නානු හිසෙහි ගල්වා ගැනීමෙන් සියලු ලෙඩ දුක් නිවාරණය වන බවත්,දෙවි පිහිට නොඅඩුව ලැබෙන බවත් විශ්වාස කරයි.  

භාරහාර ඔප්පු කිරීම
  මෙහිදී බැතිමතුන් විසින් තම අභිප්‍රාය ඉටු වූ පසු නැවත දේවාලය කරා පැමිණ පූජා ද්‍රව්‍ය ඔප්පු දී භාර හාර නිදහස් කර ගනී. මෙලෙස ඔප්පු දීමේදී ප්‍රාණයට ප්‍රාණයත්, රූපයට රූපයත් හෝ දේවාලයේ ප්‍රයෝජනය සඳහා වූ යමක් පූජා කරයි.

පොල් පැළ පූජා කිරීම
      මෙලෙස පොල් පැළයක් පූජා කිරීම ප්‍රාණයට  ප්‍රාණයක් පූජා කිරීම හා සමාන යැයි බැතිමතුන් විශ්වාස කරයි.මෙහිදී පොල් පැළය මිනිස් ප්‍රාණයට සමාන කරයි.
       එමෙන්ම රූපයට රූපයක් ඔප්පු කරන බවට කරන ලද භාරයේදී තම අසනීපය සුව වූ පසු රිදියෙන් හෝ තඹෙන් කළ කිසියම් රූපයක් දේව නාමයට ඔප්පු කරයි.විශේෂයෙන් කුඩා රිදී වාහන, රිදී බයිසිකල්, සත්ත්ව රූප ,චෛත්‍යය,බෝධි, රිදී කඩු මෙන්ම රිදී සැරයටි ද පූජා කරයි. සත්ත්ව රූප අතරින් කුකුළාගේ රූපය විශේෂ වේ. ඒ දැඩි මුණ්ඩ දෙවියන්ගේ රථය ලෙසට යොදා ගන්නේ සැවුලා බැවිනි. මෙහිදී දෙවියන් තෘප්තිමත් භාවයට පත් කිරීම අපේක්ෂා කරයි. 

මැණික් හා රන් දම් වැල් හා වේවැල් පූජා කිරීම
   පතල් කර්මාන්තයේ යෙදී සිටින්නන් පතලක් ආරම්භ කිරීමට ප්‍රථම මෙම දේවාලයට පැමිණ භාර හාර වී මැණික් ලැබුණු පසු මැණික් ගලක් දේවාලයට ඔප්පු කර භාරය නිදහස් කර ගනී. එමෙන්ම ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නන් මෙම දෙවියන්ගේ පිහිටෙන් තම ව්‍යාපාර දියුණු වූ පසු රන් දම් වැල් ඔප්පු කරයි. 
  වේවැල මෙම දෙවියන්ගේ ප්‍රධාන ආයුධයයි. මෙම දෙවියන් යකුන් ලවා වැඩ ගැනීම සඳහා වේවැලෙන් බැට දුන් බව ජනශ්‍රැතියේ සඳහන් වේ. මෙමඟින් දෙවියන්ගේ අණ ක්‍රියාත්මක කරන්නේ යැයිද විශ්වාසයක් පවති. එම නිසා බැතිමත්හු පූජා වට්ටියක් සමඟ  වේවැලක් ඔප්පු දී භාරයෙන් නිදහස් වෙයි. මීට අමතරව කොප්පරා ,පක්ෂීන් මෙන්ම අලි ඇතුන් පූජා කිරීම ද සිදු කරයි.

   
උක්ත කරුණු සළකා බැලීමේ දී අවසාන වශයෙන් නිගමනය කළ හැක්කේ අලුත් නුවර ශ්‍රී දැඩි මුණ්ඩ දේවාලය ආශ්‍රිතව එහි පුද සිරිත් හා අභිචාර විධි ඇසුරින් සාම්ප්‍රදායික සන්නිවේදනය ගොඩ නැඟී ඇති බවය.

-මංජරී-

ඇතුල් පැත්ත



  නිල් ගුවන සිසාරා රන් පැහැ ගත් ළහිරු රැස් පැතිර යන කල්හි සයිමන් අයියා දර කරත්තයත් දක්කා ගෙන කඩමණ්ඩිය වෙත පිය නැඟුවේ හැමදාමත් පුරුදු රාජකාරිය අද දවසේත් නිම කිරීමට අදහස් කර ගෙන ය. සතලිස් වියැති සයිමන් අයියාගේ බිරිඳ වන රංගම්මා අද කරත්තය පිටුපස නැත්තේ ගෙදර බලාපොරොත්තු නොවූ රාජකාරියක් ඇයට පැවරුණු නිසාවෙනි. සයිමන් අයියා රංගම්මා හා සමඟ විවාහ පත් වූයේ සිරිත් විරිත්, නැකැත්, කුල දම් අනුව නොව අතරමග දී හමුව ඇති කර ගත් මිතුරුකමක් මුල් කර ගෙන ය. තේ දළු නෙලීම සඳහා එගොඩ වත්තට පැමිණෙන රංගම්මා හා හාද වන්නට සයිමන් හට එතරම් කාලයක් ගත නොවිණි. පැහැයෙන් අඩු වුව ද නෙත් වසඟ කරන රූ සපුවක් ඈ සතු වූවා ය. ඒ දෙදෙනාගේ විවාහයට ගමේ වැඩි දෙනෙක් අකමැති වූයේ අනෙකක් නිසා නොව රංගම්මා දමිළ කාන්තාවක් වීම ය. නමුදු ඔවුන් විවාහ වූ දවසේ දී ත් ඉන් පසුවටත් සාමාවතී උන්දෑ ඔවුන්ගේ රැකවරණෙට මෙන්ම අත් උදව්වට ද සිටියා ය. ඒ සමාවතී  උන්දෑ කාරුණික හදවතින් කා හටත් සම සිතින් එක ලෙස සළකන නිසාවෙනි. 
“කෝ බං අද රංගම්මා .....?” යැයි ගං ඉවුර පසෙකින් වූ  අට්ටාලයක් තුළ කුඩාවට තේ කඩයක් කර ගෙන යන කරනේලිස් මුදලාලි ඇසීය.
“මුදලාලි අද අපෙ මායියට ලොකු රාජකාරියක් පැවරුණානේ ... ඉතිං එයා කැමැත්තෙන්ම නැවතුණා....”
“දර කොච්චර විතර බාන්ට ද?”
“ඔන්න ඔය හොණ්ඩර කාලක් විතර ඇති බං. ඒක නෙවෙයි බොල. මොකක්ද කියහංකො ඔය මහ ලොකු රාජකාරිය ... ”
“අර රාජදාසලාගේ අම්මා, ඊයේ උදැහැනැක්කෙම දර කඩන්නටෙයි කියලා තනි පංගලමේ කැලේට ගොහින් එනකොට පය ගලක හැපිලා වැටිල. එක අංසයක් පණ නැතිව ගෙහුං. ඉතින් සිලිඳි නඟයි හීං අම්මා නැන්දයි දෙන්නා එකතු වෙලා වෙද රාළ ළඟට එක්කන් ආවා. රැ බෝ වූණ නිසා මං කීවා අපේ ගෙදර ඉන්නටෙයි කියලා. ඔය මනුස්සයා නම් අපේ ගෙදර හැමදම හිටියත්  මං සළකනවා...”
“කොයි... අර සාමාවති උන්දෑ ද?” 
“ඔව් ඔව් උන් දෑ තමයි.”
“අනේ ඔව්. ආයේ වරදක් නෑ, හිත හොඳ කරුණාවන්ත අහිංසක අම්මණ්ඩි...”
  ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දියණිය බඩ පිස්සී,  සිරියලතා ඉපිද වසර පහක් පමණ ගත වන විට තාත්තා ගඟෙහි මාළු අල්ලමින් සිටිය දී ඔරුව පෙරළී දියේ ගිලී මියැදුණේය. රාජදාසගේ ද පියා වන මොහු බේරා ගැනීමට පිහිනීමෙහි ශූරයෙකු වූ සයිමන් මැදියම් රැය වන තුරුත් උත්සාහ දැරුව ද පසු දා පහන් වන විට ගොඩ ගත හැකි වූයේ ඔහුගේ මියැදුණු සිරුර වුවත් එදින සයිමන් තම පවුල වෙනුවෙන් කරන ලද කැපවීම පිළිබඳ මතකය සාමාවතීගෙන් ඈත් නොවිණ.
වසර ගණනාවක් ගත විය. රාජදාස කොළඹ රක්ෂාවකට ගියේය. ඔහු සිදාදියේම රස්සාවත් පරස්තාවත් දෙකම කර ගත්තේ ඔහුගේ හිතු මනාපෙටය. මුල දී පවුලේ අනෙක් අය පිළිබඳව විටින් විට සොයා බැලුවත් කලක් ගත වන විට වැඩ අධික බව පවසා එය ද අත් හැර දැමීය. එදිනෙදා   කුලියක් කර ගෙන ජීවත් වන ඔහුගේ සොයුරා වන වීරදාස සුරා සොඬෙකි. 
වීරදාසගේ හැසිරීම රාජදාසටත් වඩා නොරිස්සූ රාජදාසගේ බිරිඳ ගමේ පවුලේ අය සමඟ රාජදාසගේ  තිබූ සම්බන්ධය නැවැත්වීමට එයම හේතුවක් කර ගත්තා ය. නමුත් ගම් සභාවේ මැම්බර් උන්නැහේ සමඟ සමීප සබඳතා ගොඩ නඟා ගත් වීරදාස ගම්මුන්ගේ ද හිත දිනා ගෙන සිටි අයෙකි.
ගමේ ඇතැම් පිරිමි අය ගඟෙහි මාළු ඇල්ල්ීමට පුරුදුව සිටි අතර අනෙකුත් පිරිමි සහ ගැහැණු අය රැකියාවට කළේ තෝර යාය වත්තේ වැඩ කිරීමයි. ගම්මුන් සහ තෝර යාය වත්තේ වැඩ කළවුන් අතර මතු පිටින් පෙනෙන සුහදතාවයක් තිබුණේ වී නමුදු යටි හිතේ සැඟව තිබූ සැක සංකා ද නැතිවා ම නොවේ. එයට හේතු වූයේ මැම්බර් මහත්තයා නිතර ම ගම්මුන් සමඟ කතා කළේ ඔවුන් වෙනම පිරිසක් ලෙසට වෙන් කරමිනි.
 හැමදාමත් වැඩ අහවර වූ පසු සවස් යාමේ ගල් අම්බලමට එක් රොක් වීම ගමෙහි තරුණයන්ගේ පුරුද්දක්ව පැවතිණි. ගමෙහි මුතුන් මිත්තන් සිහි වීමට තැනුවක් ලෙසත්, සිංහල උරුමය රකින වස්තුවක් හැටියටත් එය ගම්මුන් විසින් සළකන ලදී. මෙලෙස සතුටු සාමිචියේ යෙදෙන අතරේ ඒ අසලින් වැටී ඇති ගුරු පාර  දිගේ සිරියලතා හා ඇගේ යෙහෙළියන් කෙලි කවට සිනා පාමින් යන විට ඇය ආලවන්තකම් පාන සිරිපාල ද එහි  සිටියේය. මේ අතර වීරදාසගේ ගජ මිතුරෙකු වන කචල් චූටි ද සිටියේය. මෙම පෙම් පලහිලව්ව පිළිබඳ ව වීරදාසට සැල කිරීමට ඔහු සිතුවේ ඔහුට තිබෙන නිවට නියාලූ බිය නිසාවෙන් මිස, සිරියාවතිගේ අරක්ෂාවට හෝ ඇයට ඇති ලෙංගතුකම නිසා නොවේ.
  ලියන්ගස්යාය ගමෙහි බෙහොමයක් ගෙවල් සකස් ව තිබුණේ කටු මැටි බිත්තිවලින් සහ පොල් අතු සෙවිලි කිරීමෙනි. සයිමන් අයියාගේ නිවස ද කටු මැටියෙන් තැනු කුඩා නමුත් සිරියාවන්ත පෙනුමකින් යුතු එකක් විය. ඔහුගේ බිරිඳ රංගම්මා, සියළු අඩුමකුඩුම වලින් අංග සම්පූර්ණ මුළුතැන් ගෙයක් පවත්වා ගෙන යන අතර සෑම උදෑසනකම අවදිව ඉඳි ආප්ප, වඬේ, තෝසේ ආදිය සකසා කරනේලිස්ගේ කඩයට දමා එයින් ද සුළු මුදලක් උපයා ගනී. සිංහල කතක පරිද්දදෙන් ඉතා හොඳින් වචන උච්චාරණය කර බස වහරන්නට ඇයට මහ ලොකු කලක් ගියේ නැත. ගමේ පන්සලේ සිදු කරනු ලබන සෑම කාර්යයකටම සයිමන් සමඟ නිරතුරුව සහභාගී වන ඈ තෝර වතු යායේ කෙළවර පිහිටි පුරාණ පුල්ලියාර් කෝවිල වෙත ගොස් පුද පූජා පවත්වන්නී ය. සෑම සෙනසුරාදා දිනයකදී ම නිවස හොඳින් පිරිසිදු කොට කහ දියර ඉස, මනාව පේ වී, රතු පැහැයට හුරු සාරියකින් සැරසී නිවසෙහි තැන්පත් කොට ඇති දේව ප්‍රතිමාව සුවඳ පැනින් නහවා, කළ යුතු වතාවත් නිසි ලෙස ඉටු කරන්නීය. සයිමන් ද අවශ්‍ය කළමනා සකසා දුන්න ද ඒවාට සම්බන්ධ නොවන්නේ ඇයට රිසි පරිදි එම කාර්යය ඉටු කිරීමට ඉඩ සලසාලමිනි. 
  පූජාව පවත්වා අවසන් වූ පසු ඇගේ නළල් තලය මත සින්ධූර් තැවරුවේ සයිමන්ගේ අතිනි. ඉන් පසුව ඔහුගේ දෙපය මත අත්ල තබා ආශිර්වාද ලබා ගැනීමට ඈ ද අමතක නොකරයි. අලුත බැඳපු ජෝඩුවක මෙන් ඔවුන්ගේ ආලය දිනෙන් දින මෝරා ආයේ ය. අඩුවකට පැවතියේ කිරි කැටියෙකුගේ සුරතල් බැලීමට ඔවුනට වරම් නොලැබීම පමණී. දෙදෙනාගේම සිතෙහි, ඒ කෙරෙන් වූ සියුම් ශෝකයක් පැවතිය ද එය දෙදෙනාම සඟවා ගෙන හුන්නේ ය. නමුදු ඒ පිළිබඳ වූ අඩුව නොදැනෙන්නට සයිමන් වග බලා ගත්තේ ය. දීපාවලි දිනයට මෙන්ම සිංහල අලුත් අවුරුද්දට රංගම්මා අතින් ගිතෙල් මුසු කොට නිම වන රසකැවිලි වල මිහිර විඳ ගැනීමට ඔවුනට හිතවත් ගමේ ලොකු කුඩා කවුරුත් ආශා කළෝ ය. මසකට එක් දිනයක් තෝරා ගෙන සිය සැමියා වෙනුවෙන් දිගා සිරි පතා උපවාස කිරීමට ද ඇය  කටයුතු කළා ය. එමෙන්ම නිවසෙහි ඇති කරන හඳයා ඇයගේ දරුවකු හා සමානව රැක බලා ගත්තා ය.
දිගින් දිගටම සයිමන් තම මව නිවසෙහි තබා ගෙන සත්කාර කරන ආකාරය වීරදාසගේ හිතට එතරම් ඇල්ලුවේ නැත. ඊට හේතුව කෙදිනක හෝ තාත්තාගේ කසාද උරුමෙට අම්මාට අයිතිව තිබෙන වී තුන් පෑලටවත් කණ කොකා හඬාවිදැයි ඔහු තුළ තිබුණු සැකය නිසාවෙනි. ඒ බවක් අඟවන්නේ නැතිව ඔහු නිහඬව සිටියේ අම්මාගේ වැඩකටයුතු ටිකත් සයිමන් අයියා අතින් සිදු වන එක ඔහුට ගැලවීමට හේතුවක් වන නිසා ය. නමුත් සිරියලතා සයිමන් අයියාටත්, රංගම්මාටත් ඇල්මක් දැක්වූයේ සිය මව වෙනුවෙන් ඔවුන් කරන කැපවීම සත්භාවයෙන් ම අගය කරන නිසාවෙනි. ඇය අම්මාට කසාය හැලිය තම්බන්නට රංගම්මාට උදව් වී නිවසට ආවේ ගෙදරදොර අහුරා අතු ගා පිළිවෙලක් කොට මද්දු අයියා ගෙදර එන විට මොනවා හෝ කෑමට යමක් පිළියෙල කිරීමට අදහස් කර ගෙනය.
ගෙදරට සේන්දු වන මද්දු අයියා දුටු සිරියලතා සුපුරුදු පරිදි තම කටයුතුවල යෙදී සිටිය ද කට කොනක් බී ගත් ඔහු එකවරම ඇයගේ ඇගට කඩා පැන්නේ,
“ඈ බං සිරියෝ.. උඹට මොකක් ද අර කැනහිලා සුමනපාල  එක්ක තියෙන ඇයි හොඳයිය ... ”
ඉන් බියට පත් සිරියලතා,  “මොන සුමනපාලයෙක්ද... එයත් එක්ක මගෙ ඇති පයිරු පාසානමක් නෑ.”  කියමින්  කලයත් උකුලේ තියා ගෙන ළිඳට ගියේ හිතේ මහත් නොසන්සුන්තාවයක් ඇතිව ය.
“හා හොඳයි. මං බලා ගන්නම්කෝ ...”  කියමින් මද්දු අයියා ගේ ඇතුළට යනු සිරියලතා හොඳින් බලා සිටියා ය. ඔහු කිසි දිනෙක තමාට මෙහෙම කතා කොට නැතැයි සිතු සිරියලතා කවුරුන් හෝ තමාට විරුද්ධව අයියාව උසි ගන්වා ඇති බවට සැක කළා ය. 
අයියාගේ මෙම ගෝරනාඩුව දිගින් දිගටම පැවතීම මහත් හිසරදයක් වූ අතර අම්මාගේ අසනීප තත්ත්වය උග්‍ර අතට හැරීමත් නිසා තමාගේ අනාගතය පිළිබඳව ඇයට දරා ගත නොහැකි වේදනාවක් කම්පනයක් සිතට ගෙන දුන්නේ ය. ඒ පිළිබඳව කියන්නටවත් කෙනෙක් නැතිව සිරියලතා වල්මත්ව අසරණව කාලය ගත කළත් අම්මාගේ අසනීපය ගැන කිසි ලෙසකින් වත් අවධානය අඩු කළේ නැත. රංගම්මා සමීපව ඇසුරු කරන නිසා ගම්මුන් ඈව ද වැඩිය ගණනකට ගත්තේ නැත. නමුදු සයිමන් අයියා හා රංගම්මා අක්කා අමතක කිරීමට නොහැකි තරමට ම තමාගේ ජීවිතයට සමීප වී  තිබීම නිසා ගම්මුන් ඇයට එහි නොයන ලෙස ආඩපාලි කීවත් ඒවා කනකට නොගත්තා ය.
  මද්දු අයියා විතරක් නොව මැම්බර් මහත්තයා ඇතුළු ගමේ බොහෝ දෙනෙක් තුළ සයිමන් ගේ විවාහය පිළිබඳව නුරුස්නා ගතියක් තිබුණේ වුව ද එම දෙපළ තුළ තිබුණු මනුෂ්‍ය ගති ගුණ නිසා ඔවුන්ට එරෙහිව කිසි දෙයක් කරන්නට කිසිවෙක් පෙළඹුණේ ද නැත. 
කලක් යන විට සුමනපාලට ද වීරදාස අඩම්තේට්ටම් කරන බව ආරංචි වූ සිරියලතා එක් උදෑසනක සයිමන් අයියාගේ නිවසට ගියේ තරමක මුරණ්ඩු තීරණයක් ද සිතෙහි රඳවා ගෙන ය.
“ඈ සිරියලතා නංගී. මොකෝ මේ උදැහැනැක්කකෙම කුකුළත් කරේ තියන් ...”
“නෑ අයියේ. මට හිතුණා උදෙන්ම අම්මව බලන්ට ඕනෙ කියලා.” 
“වෙනදටත් උඹ ඔහොම එනවනම් මෙහෙම නාහා ඉන්ට තිබුණා. ඒත් මට පේන විදියට උඹ අද වෙනදා වගේ නෙවෙයි නංගියේ...” යැයි රංගම්මා ඇයට සමීප වෙමින් කීවා ය.
“මං ගමෙන් යන්ට හිතුවා අයියේ.”
“නංගී කොහෙ යන්ටද?”
“මම සුමනපාල අයියා එක්ක ගමෙන් පිට වෙන්ට හිතුව.” 
“හත් දෙයියනේ .... උඹට පිස්සු ද? තව ටිකක් මේ ගැන හිතලා බලපන් .”
“නෑ අයියේ, මං මේ ගැන හොඳ හැටි හිතා බලලා ඉවරයි. අයියා දන්නවනේ සිද්ධිය මොකක්ද කියලා. මං හෙටම ගමෙන් පිට වෙනවා. මගේ අම්මාගේ ජීවිතය රැඳිල තියෙන අයියටත් අක්කටත් මේ බව දන්වලා යන එක යුතුකමක් හින්දයි මං මෙ උදෙන්ම තකහනියක් මෙහෙ ආවේ.”
  ගත වූයේ ටික කාලයකි. අම්මා ටිකෙන් ටික ජීවිතයේ අවසන් හුස්මට ළං වෙමින් සිටියා ය. ඒ බව රාජදාසවත් සිරියලතාවත් නොදැන සිටියේ ඔවුන් ගමෙන් දුරස්ව සිටිය නිසාවෙනි. වීරදාස ගම් තුලානේම රැඳී සිටිය ද ඔහුට මේ බව වගේ වගක් නැත.
සැඳෑ අඳුර ලියන්ගස්යාය ගම වට කරද්දී සයිමන් කරත්තය දක්කා ගෙන ගෙදර දෙසට ගමන් කළේය. රංගම්මා දිය කලයක් ද රැගෙන ගෙතුළට යනවා දකින විට ඔහුට බොහෝ දේවල් සිතට ආයේ ය. ලේ උරුමකමට නෑදැකමක් කියන්නට සයිමන්ට කෙනෙක් නොමැති වුව ද තමන්ගේ ජීවිතේට රංගම්මා වැනි බිරිඳක් ලැබීමත්, රාජදාසලාගේ අම්මා තමාගේ ම මව ලෙස රැක බලා ගන්නනට ලැබීමත් ඔහු සැළකුවේ  දෛවයෙන් ලද ත්‍යාගයක් ලෙසට ය. ගිනියම් මහ දාවල කන් පුරා වැකුණූ මිනිසුන්ගේ  ජීවිතවල දුක් අඳෝනාවල හඬ කෙමෙන් වියැකී යද්දී , රැහැයි හඬ කටෝර ලෙසින් මුළු පරිසරයම වෙලා ගෙන හමාර ය. විටින් විට මා වවුලෝ ද “චිරීස්... චිරීස්...” යන හඬ නංවමින් කෑ මොර දෙන්නට පටන් ගත්තෝ ය. කලාතුරකින් ඇසෙන උලමාගේ හඬ ද ලියන්ගස්යාය දෙවනත් කර ගෙන අද ඇසෙන්නේ ඇයි දැයි නොදැනේ. 
නිදි වරමින් සිටි රංගම්මා හට රාජදාසලාගේ අම්මාගේ කෙඳිරිලි හඬෙහි අමුත්තක් දැණිනි. ළඟ නිදා සිටි සයිමන් ගේ උරහිස සොලවා මුවින් නොබැණ අවදි කොට ගෙන සාමාවතී අම්මා ළඟට ගියේ හදවත තුළ උතුරා ගිය මාතෘ පෙම ද සිත දරා ගනිමිනි. 
කෙඳිරිලි හඬ කෙමෙන් කෙමෙන් වැඩිවත් ම කළ යුතු සාත්තු සප්පායම් ද අවශය පරිදි සිදු කළ ද පසුදා හිරු නැගෙන්නට හෝරා එක හමාරක් පමණ තිබිය දී ඈ සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේ ජීවයෙහි පවතින අනිත්‍ය බව සියල්ලන්ට ම පසක් කරවමිනි. එමෙන්ම සයිමන් අයියාටත් රංගම්මාටත් දරා ගත නොහැකි ශෝකයක් හා පාළුවක් ඉතිරි කරමිනි. 
   සයිමන්ගේ ගෙදර ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසාත්, ගම්මුන් ඔහුගේ නිවසට එන්නට තිබූ අකැමැත්ත නිසාත්, වීරදාස සමඟ එතරම් සබඳතාවක් නැති නිසා ඔහු සම්බන්ධ කර ගැනීම අවුල් සහගත වීමත් යන හේතු මුල් කර ගෙන සයිමන් අවසානයේ දී සාමාවතී අම්මාගේ අවසන් කටයුතු සඳහා ස්ථානය ලෙස තෝරා ගත්තේ කාටත් පොදු ස්ථානයක් වූ ගල් අම්බලම ය. 
සයිමන් කළේ තමන්ට පමණක් හිතවත් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගෙන ගල් අම්බලම අවට පරිසරය පිරිසිදු කර ගොක් කොළ හා සුදු කොඩි එල්ලා සැරසීමයි. පසුව කරත්තය පවිත්‍ර කොට සාමාවතී අම්මා, රංගම්මාගේ සුදු සාරියකින් ඔතා එහි තබා හෙමින් සීරුවේ අම්බලම ළඟට දක්කා    ගෙන යාමයි. හඳයාගේ ගෙල බැඳි සීනුවේ හඬ ද පරිසරයට එක් කළේ ශෝකාකූල භාවයකි. ඒ පිටු පසින් රංගම්මා ත් හීන් අම්මා නැන්දා ත් ගමන් කළේ  තබන පියවර දෙසට නෙත් යොමා ගෙන ය. 
ලියන්ගස්යාය ගමේ සාමාවතීලාගේ පිරිවරත් තෝර වත්තේ රංගම්මලාගේ පිරිවරත් වට කර ගත් ගල් අම්බලම වටා මනුෂ්‍යත්වයේ දේංකාරය රැව්පිළිරැව් දුන්නේ ය. රාජදාසත් ඔහුගේ බිරිඳ සහ දරුවනුත්  විවිධ විලාසිතාවන්ගෙන් යුතු සුදු ඇඳුමින් සැරසී පැමිණි අතර, බලා සිටිය වුන් මවිත කරවමින් හඬන විට ගම්මුන් එකිනෙකාගේ මුහුණ දෙස බලා ගත්තේ වේදනාව යටපත් කර ගෙන මතු වූ උපහාසය පිරි කට කොන රැඳි සිනාවන් සමඟිනි. වීරදාස ද මැම්බර් මහත්තයා හා සගයන්  සමඟ පැමිණ මල් වඩමක් තබා ශෝකය පළ කළේ ය. සිරියලතා ත් සුමනපාල ත් එනු දුටු වීරදාස ඔවුන් මඟ හැර ගිය ද සයිමන් අයියා ත් රංගම්මා ත්  හීං අම්මා නැන්දා ත් ඔවුන් දෙදෙනා වැළඳ ගත්තේ සියල්ලගේ සිත තුළ තිබුණූ ශෝකය තව තවත් තීව්‍ර කරවමිනි.
  ගමෙහි සිදු වන සෑම කටයුත්තකදී ම කාටත් එක ලෙසින් සහාය වන වෙද මහතාගේ ද උදව් ඇතිව සයිමන් අයියා හා රංගම්මා ඈ වෙනුවෙන් අවසන් වශයෙන් සිදු කළ යුතු ආගමික කටයුතු ද මනා කොට සිදු කොට ඇයට නිවන් සුව පැතුවෝ ය. එතෙක් කල් රංගම්මා කෙරෙන් ගම්මුන් තුළ තිබූ අපැහැදීම පහව යන්නට ගත වූයේ සුළු නිමේෂයකි.

   නිමි.
                                                                                                  
-මංජරී -                                  

අස්ගිරි රජ මහ විහාර වත....




ධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්ක බද ගඟවට කෝරළයේ මාපනාවතුර ආසන්නයේ අස්ගිරිය පිහිටා තිබේ. මහනුවර යටි නුවර වීදිය ඔස්සේ  ගමන් කොට වාරියපොළ ශ්‍රී සුමංගල මාවතේ ගමන් කළ විට අප පිවිසෙන්නේ ඓතිහාසික මහනුවර රාජධානියටත් වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන පූජනීය ස්ථානයකට ය. ඒ අස්ගිරි විහාරයයි. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මූලස්ථානය පිහිටා ඇත්තේ මෙම විහාරයේය. සෙංකඩගල නගරයට පිවිසෙන බොහෝ වන්දනාකරුවන් හා සංචාරකයන් අතුරින් ශාසනික හා ඓතිහාසික වශයෙන් වැදගත්කමක් දරන මෙම පුද බිම දැක බලා ගැනීමට යන්නේ ඉතා සුළු පිරිසකි. 
  අස්ගිරි විහාරයේ ආරම්භය කුරුණෑගල රාජධානි සමයෙහි සිව්වන පරාක්‍රමබාහු රජුගේ කාලය දක්වා දිව යයි. මෙහිලා අස්ගිරි තල්පත වැදගත් වේ. එයට අනුව සිව්වන පැරකුම්බාවන්ගේ රාජ්‍ය සමයෙහි මෙහි අධිපතීත්වය උසුලා ඇත්තේ පළාබත්ගල ධම්මකිත්ති මහ තෙර සාමිය. මෙම රාජ්‍ය සමයෙහි භාගින්‍යෙය නම් සේනාධිකාර කෙනෙක් විසින් කපුටුළු දනව්වේ සෙංකඩගල නුවර (මහනුවර) අභිනවයෙන් සේනාසනයක් කරවා ඇති අතර ඒ සඳහා අවශ්‍ය භික්ෂූන් වහන්සේලා ලබා දෙන ලෙස රජු විසින් ධම්ම කිත්ති හිමියන්ට පවසන ලදුව උන්වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් වලස්ගලින් භික්ෂූන් වහන්සේලා සය නමක් සංඝ සම්මුතිය ඇතිව තෝරා ගෙන නව සෙනසුන වෙත වැඩමවා වාසය කරවන ලදී. අස්ගිරි තල්පතෙහි සඳහන් වන ආකාරයට ව්‍යවහාරිත බුද්ධ වර්ෂ 1855 දී එනම් ක්‍රි.ව 1312 දී වර්තමාන අස්ගිරි විහාරයෙහි සහ එහි සඟ පරපුරෙහි ආරම්භය සිදුව ඇත.
  මෙලෙස ඇරඹි මෙම සෙනසුන “අස්ගිරිය” නමින් ව්‍යවහාරයට පත් වූ ආකාරය පුරාවෘත්තවලට අනුව අනාවරණය කර ගත හැකිය. ඒවාට අනුව යාපහුව නුවරට දකුණු දෙසින් පිහිටි වලස්ගල මහ මුර පොළට  ආසන්නව  මෙම ආරණ්‍ය වාසය කරවා දී ඇති බැවින් එය  වලස්ගල නමින්  ව්‍යවහාරයට පත්ව ඇති අතර පසුව එය ‘අච්ඡපබ්බත ’නමින් පාලියට හරවා අනතුරුව අස්ගල් නමින්ද ඉන්පසුව එයම අස්ගිරි නමින් සිංහලයට පෙරළී ඇත. මේ ආකාරයට අස්ගිරියෙන් පැමිණි භික්ෂූන් විසින් අරඹන ලද සෙනසුන ‘අස්ගිරි   සේනාසනය” නමින් හැඳින්විණි.  අස්ගිරි තල්පතට අනුව සමකාලීන විහාරීය අභිවෘද්ධිය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ සිව්වන පැරකුම්බාවන්ගේ බෑන කෙනෙකුන් වූ සිරිවර්න සේනාධිකාරීන් විසින් අස්ගිරි සේනාසනයට එකලම රාත්‍රී සහ දිවා ස්ථාන ,සක්මන් මළු, දන් හල්, පැන්හල්, ළිං පොකුණු පුෂ්පාරාම හා ඵලාරාම කරවූ බවයි. ඉන් අනතුරුව 1312 දී රජු විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා ගම් බිම් පිරිවර හා අය පඬුරු නියම කොට විහාරය සඟ සතු කොට පූජා කරන ලදී. ඊට පසුව අස්ගිරි විහාරයේ වැඩි දියුණුවට කටයුතු කොට ඇත්තේ ක්‍රි.ව 1354 (බු.ව 1897) ගම්පළ රජ වූ තුන්වන වික්‍රමබාහු රජුය. රජු හා ඔහුගේ මව් බිසවද විහාරයට බොහෝ සෙයින් උපකාර කළ බවත් රජු විසින් සිය මව සිහි වීම සඳහා බෝධිය , පිළිම ගෙය ආදී වැදගත් විහාරාංග ඉදි කරවා ඇති බවත් සඳහන්ය. එමෙන්ම මව් බිසව අස්ගිරියේ තලගහමුල විහාරයද ,පන්සල හා දේවාලය ද කළ බව පැවසෙන අතර වික්‍රමබාහු රජු සිය මවගේ භෂ්මාවශේෂ මත ගෙඩිගේ විහාරය ඉදි කොට ඇත. ඉන් අනතුරුව රජ පැමිණි ගම්පළ පස්වන බුවනෙකබා සමයෙහි අස්ගිරි නායක තනතුරෙහි වැඩ සිටි රාජ නාරායණ වික්‍රමබාහු මහ තෙරුන් වහන්සේගේ අභාවයෙන් පසු රම්මලක අනෝමදස්සී මහ තෙරුන් වහන්සේ  පත් වූ බව පැවසේ. මීළඟට අස්ගිරි විහාරයට වැදගත් විහාරාංගයක් එක් වූයේ සෙංකඩගල රජ පැමිණි වීර වික්‍රමබාහු රජ (1542) දවස ය. එනම් පෝය මළු විහාරයයි. මෙලෙස රජු විසින් උපෝසථ විහාරයක් ඇතුළුව සංඝාරාමාදිය ඉදි කළ බව අස්ගිරි තල්පතෙහිත්, රාජරත්නාකරයේත්, චූලවංශයේත් සඳහන් වේ.
අස්ගිරි විහාරයේ ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසුව බලයට පත් බෙහෝ  නායක්කර් වංශික රජවරු මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බවයි. එමෙන්ම භීෂණ සමයන්හීදී  දන්ත ධාතුන් වහන්සේට රැකවරණය ලබා දීමට ද අස්ගිරි භික්ෂූන් වහන්සේලා කැප වී ක්‍රියා කොට ඇත. 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීසි ධජය එසවීමට ක්‍රියා කරද්දී එය බිම දමා පාගා සිංහල ධජය ඉහළට එස වූයේ අස්ගිරි පාර්ශවයට අයත් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ය. ක්‍රි.ව 1818 දී දන්ත ධාතුන් වහන්සේ සඟවා ගෙන ගොස් එය කැප්පෙටිපොළ දිසාවට භාර කොට ඇත්තේ ද මෙහිමියන් විසිනි. ඉන් අනතුරුව 1815 මාර්තු 10 දින ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එහි නායක පදවියට මාවතගම නායක හිමියන් සහ අනුනායක පදවියට තුඹගොඩ හිමියන් පත් කර ඇත. ශ්‍රී ලාංකීය ථේරවාදී  භික්ෂු  පරපුරෙහි සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවය අවුරුදු හත්සියයක පමණ ඉතිහාසයකට උරුමකම් කියයි. එම භික්ෂු පරපුර විසින් ග්‍රන්ථ ධූරයට මෙන්ම විදර්ශනා ධුරයටද ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබේ. මෙහිදී භික්ෂුවකගේ භික්ෂූත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සිංහල, පාලි හා  සංස්කෘත භාෂාවන්ට අමතරව දෙමළ, හින්දි, බුද්ධාගම, තර්ක ශාස්ත්‍රය, දර්ශනය වැනි විෂයන් ඔස්සේ ධර්ම ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබේ.
අස්ගිරි විහාර සංකීර්ණය විහාරස්ථාන කිහිපයකින් සමන්විතය. එම පරිවාර ගොඩනැගිලි වන අස්ගිරි ගෙඩිගේ විහාරය (ආදාහන මළුව),හයගිරි විජය සුන්දරාරාමය, මැද පන්සල, පහළ පන්සල, මහා විහාරය යන විහාර සංකීර්ණය වටා ගොනු වී ඇත. ගම්පොළ යුගයේදී ග්‍රාම ආරණ්‍යක සහ උභය පාක්ෂික භික්ෂුන් වහන්සේ එකම විහාරයක වාසය කර ඇති බව උඩුනුවර ලංකාතිලක ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ.
මහනුවර නගර මධ්‍යයේ පිහිටි පැරණි ගොඩනැඟිලි අතර පැරණිකමින් දෙවැනි තැනට ගැනෙන අස්ගිරියේ ආදාහන මළුවේ පිහිටි ගෙඩිගේ විහාරය හින්දු සම්ප්‍රදාය අනුව කලු ගලින් නිම වූවකි. ගම්පළ විසූ තුන්වන වික්‍රමබාහු රජු විසින් තම මෑණියන් වූ චන්ද්‍රවතී බිසව ආදාහනය කළ ස්ථානයේ ඉදි කළ විහාරයක් බැවින් එයට ආදාහන මළුවේ ගෙඩිගේ විහාරය යන නම ආරෝපණය කොට ඇත. පළමුවන විමලධර්මසූරිය රජුගේ හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හැර ඉතිරි රජවරුන් සියළු දෙනාගේ ආදාහන කටයුතු සිදු කර ඇත්තේ මෙහිදීය. ලක්දිව යළි උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට සියමෙන් වැඩි උපාලි හිමියන්ගේද මුල් යුගයේ මල්වතු  අස්ගිරි දෙපාර්ශවයේ සිටි මහ නා හිමිවරුන්ගේද ආදාහන කටයුතු ද මෙහිදීම සිදුව ඇත. රත්නභානු විහාරය යනුවෙන්ද හඳුන්වන මෙය උඩ මළුව,මැද මළුව හා පල්ලේ මළුව යනුවෙන් කොටස් තුනකින් සමන්විතය. විහාරය මත ගෝලයක ස්වරූපයෙන් කැපූ කළු ගලින් නිම වූ ආකෘතිය මෙහි දක්නට ලැබේ. මෙය පල්ලව සම්ප්‍රදායට අනුව නිම වූවකි. මෙම ගොඩනැගිල්ලට පිටතින් නිමවා ඇති ව්‍යාජ කුළුණු සහ බොරදම් මෝස්තර ගඩලාදෙණිය ප්‍රතිමා ගෘහයට සැමතින්ම සමානය.
 අස්ගිරි  මහ විහාර සංකීර්ණයේ වැදගත් ස්ථානයක් වන හයගිරි විජය සුන්දරාරාමය බහිරවකන්දේ උතුරු බෑවුමේ පිහිටා ඇත.  මෙම විහාර සංකීර්ණය පරණ විහාරය, පැරණි පෝය සීමාව ,අලුත් විහාරය,පන්සල් දෙක යන ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි සතර කෝරළයෙහි දිසාපති පදවිය දැරූ පිළිමතලව්වේ විජය සුන්දර රාජකරුණා මහ නිලමේ විසින් ඉදි කරවා ඇති මෙම කුඩා විහාර සංකීර්ණය අඩි 3ක් පමණ උස කළු ගල් පීඨිකාවක් මත පිහිටා ඇත. ක්‍රි.ව 1765දී සිදු කරන ලද අස්ගිරි විහාරීය උපසම්පදා විනය කර්මයේදී උපසම්පදාවට පත් කළ දෙවනි යතිවරයා වූයේ උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමියන්ය. මෙම විහාරය උන්වහන්සේට පූජා කළ තැන් පටන් එය විජය සුන්දරාරාමය නම් විය. මෙහි විහාර පියස්ස තනා ඇත්තේ මහනුවර යුගයේ ආකාරයට කොත් දෙකකින් යුක්තව පෙති උළු සෙවිලි කිරීමෙනි. ඉතා අලංකාරවත් මකර තොරණට යටින් හිඳි බුද්ධ ප්‍රතිමාවක් ඇති අතර විහාර වියන සූවිසි විවරණය සහිත සිතුවමින් අලංකාරවත් වේ. මෙම විහාර භූමියෙහි පැරණි පෝය සීමාව (උපෝසථඝරය) පිළිමතලව්වේ දිසාව විසින් ඉදි කරවා ඇත. ශිලාමය පීඨිකාවක් මත ඉදි කළ මෙය ඍජුකෝණාස්‍රාකාර ශාලාවකි. මේ අසලින්ම  පිහිටි පරණ විහාරය මහනුවර රාජධානි සමයේ අවසාන භාගය තුළ  රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉදි කරන ලද අවසාන විහාර ගොඩනැඟිල්ල ලෙසට වැදගත් වේ. මෙහි ග්‍රීක රෝම සම්ප්‍රදායට අනුව උසින් වැඩි කැටයම් රහිත හතරැස් කුළුණු ප්‍රදක්ෂිණා පථයේ ඉදි කර ඇත. විජය සුන්දරරාම විහාරයෙන් හමු වන පුරා වස්තු අතරින් දැවාණමය පුටුව වැදගත් වේ. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පරිහරණය කළ එකකි. එමෙන්ම පැරණි පුස්කොළ පොත් රැසක්ද මෙහිදී හමු වේ. ගල් සන්නසට අනුව මෙම විහාරය පූජා කොට ඇත්තේ උරුලෑවත්තේ සඟ පරපුරටය. මුංවත්තේ දිසාව විසින් ඉදි කරවන ලද මැද පන්සල අයත් වන්නේ හිඳවලුගොඩ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරවටය. අස්ගිරි විහාර පාර්ශවයෙහි උපසම්පදාව සිදු කරන සීමා මාලකය පිහිටා ඇත්තේ මැද පන්සලේය. විශේෂයෙන්ම අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ ආරාමයද පිහිටා ඇත්තේ මෙහිය. කිත්සිරි මෙවන් රජ දවස පූජ්‍ය වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ඉල්ලීම පරිදි මල්වතු විහාරීය සීමාමාලකයේදී පළමු උපසම්පදා විනය කර්මය සිදුව ඇති අතර එකළ අස්ගිරි මහා විහාර සඟ පරපුර නියෝජනය කළ නා හිමි ප්‍රථම අධි ශීල ගත සංඛ්‍යාත උපසපන් භික්ෂුව බවට පත්විය. අනතුරුව උභය විහාරීය සීමාමාලකය ආශ්‍රිතව සියමෙහි උපාලි මා හිමියන්ගේ අනුශාසනා පරිදි අස්ගිරි විහාරීය සඟ පරපුරෙහි උපසම්පදා විනය කර්මය සිදු කොට ඇත. වර්තමානයේද දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන විහාරස්ථානයන්හි සාමණේර භික්ෂූන්ගේ උපසම්පදා විනය කටයුතු මෙම පෝය සීමාමාලකයේදී සිදු වේ.

ශ්‍රී ලාංකීක බෞද්ධ ජනයාගේ මුදුන්  මල්කඩ ලෙසින් සැළකෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සමඟ බැදුණු සුවිශේෂි සබඳතා රාශියක්ම අස්ගිරි විහාර සඟ පරපුර හා බැඳි පවතී. රත්නපුර කුරුවිට දෙල්ගමු මහ විහාරයේ වැඩ සිටි දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩමවා ශ්‍රී දළඳා මාළිඟාවේ තැන්පත් කිරීමට පෙර අස්ගිරි මහ විහාර පූජා භූමියේ තැන්පත් කොට දළඳා තේවාව සිදු කොට ඇත. සිංහල රාජවංශයේ අවසාන කාල පරිච්ඡේදය දෙස බලන විට අස්ගිරි මහා විහාරයට පැවරී තිබූ ප්‍රධානතම ශාසනික වගකීම නම් දළඳා වහන්සේගේ පුද පූජා පැවැත්වීමේ කාර්ය භාර්යයි. රාජ්‍ය අනුග්‍රහය මත දළඳා හිමියන්ට ආසන්නතම කරඬුවේ යතුර අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේ සතුව පවතින බැවින් දළඳා වහන්සෙගේ වැඩි අයිතිය හා ඒ සම්බන්ධ කටයුතුවල වැඩි බලය හිමි වන්නේ අස්ගිරි මහා විහාරයටයි. සියම් උපසම්පදාවට පෙරත් ඉන් අනතුරුවත් අස්ගිරි විහාර භික්ෂූහු දළඳා තේවා කටයුතු හා සම්බන්ධව සිටි බව ඇල්ලේපොළ මංගල ,නාවින්නේ ධම්මදස්සි,වාරියපොළ සුමංගල යන නා හිමිවරුන්ගේ චරිතාපදානවලින් හෙළි වෙයි.
උභය විහාර පාර්ශවයට දළඳා භාරකාරිත්වයේ සම අයිතිය හිමි වන්නේ 1847 වර්ෂයේදීය. මේ ආකාරයෙන් අස්ගිරි මහා විහාරය හා දළඳා වහන්සේ අතර ඉතා දීර්ඝ කාලයක් පුරාවට අඛණ්ඩව පැවත ගෙන එන අතර එය වර්තමානය දක්වා නොකඩවා පවත්වා ගෙන යන බවත් මේ අනුව පෙනී යයි.
මේ ආකාරයට ලක්දිව බුදු සසුනේ ආරක්ෂාවටත් සංඝ සමාජයේ පැවැත්මට හා බෞද්ධ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමටත් මෙමඟින් ලද දායකත්වය අපමණය. පාලි සාහිත්‍යයේ නව ප්‍රබෝධයක් ඇති වූ ටීකා යුගයේ ප්‍රාරම්භකයන් අස්ගිරි පරපුර නියෝජනය කරයි. දිඹුලාගල වනවාසී භික්ෂු පරපුරෙන් පැවත ගෙන ආ රාජ නාරායන වික්‍රමබාහු තෙරුන් අස්ගිරි විහාරයෙහි අධිපති ධූරය හොබවා ඇත.මෙකල අස්ගිරි විහාරයෙහි වැඩ සිටි බුවනෙකබාහු මහ තෙරුන් වහන්සේ ‘රාජගුරු’ යන ගෞරව නාමයෙන් පිදුම්  ලැබීමෙන් පැහැදිළි වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් මෙම ආයතනය කරන ලද සේවය වෙනුවෙන් ඇගයීමක් වශයෙන් මෙම ප්‍රදානය සිදු කර ඇති බවයි.
එමෙන්ම ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු රාජ මහා විහාර ස්ථාන 4800ක් පමණ අස්ගිරි විහාරය සතු වේ. එමෙන්ම රටේ සෑම ප්‍රදේශයකම පාහේ මෙයට අයත් විහාර රාශියක් තිබේ.පුරාතන සිංහල රජ දවස සිට මේ දක්වාම අස්ගිරි රාජ මහ විහාරයට රාජ්‍ය අනුග්‍රහය අඛණ්ඩව හිමි වේ. රාජසිංහ රජ සමයෙහි ආරම්භ කළ විංශත් වර්ගික කාරක සංඝ සභාව වර්තමානයේද ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.මහා නායක,අනු නායක පදවි ප්‍රාප්ති උත්සව සංවිධානය සහ සන්නස් පත්‍ර ප්‍රදානය රාජ්‍ය නායකයාගේ සහභාගීත්වයෙන් උත්සව ශ්‍රීයෙන් පවත්වනු ලබයි.
දුරාතීතයේ පටන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම දේශීය සභ්‍යත්වය, සංස්කෘතිය, බෞද්ධ අධ්‍යාපනය නඟා සිටු වීමට අස්ගිරි විහාරීය විහාර සම්ප්‍රදාය සර්වකාලීන වශයෙන් වැදගත් මෙන්ම සුවිශේෂ මෙහෙවරක් ඉටු කරයි. එහි පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ  යතිවරයන් වහන්සේලා අතුරින් අපවත් වී වදාළ අස්ගිරි විහාරයේ හිටපු මහ නායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් දෙස් විදෙස් ගිහි පැවිදි උතුමන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ අතර සුජීත්ව සිටි සමයෙහි සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය උදෙසා කළ මෙහෙය අපමණය.උන්වහන්සේගේ අභාවයෙන් පසු ගලගම ශ්‍රී අත්තදස්සි හිමියන් එම තනතුර සඳහා පත් වූ අතර ලෝ සසුන් වැඩ කොට හදිසියේ අපවත් වී වදාළ හෙයින් අභිනව නායක පදවියට අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාාණරතන නා හිමියන් පත්විණි. වර්තමාන ශ්‍රී ලාංකීය ජන රජයේ රාජ්‍ය නායකයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අනුශාසකත්වය හොබවන ප්‍රධාන පාර්ශවය නියෝජනය කරන්නේ අස්ගිරියයි. මේ ආකාරයට ආගමික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික යන සෑම අංශයකම උන්නතිය හා අභිවෘද්ධිය උදෙසා සාම්ප්‍රදායානුකූල විහාර සම්ප්‍රදාය දිවිහිමියෙන් රකින, මුළු මහත් ජාතියටම ආශිර්වාදයක් බඳු වූ අස්ගිරි විහාර පුණ්‍ය භූමිය හා නා හිමි ප්‍රමුඛ සඟ පරපුර දළඳා සමිඳුන්ගේ පිහිටාශිර්වාදයෙන් චිරාත් කාලයක් ලෝ සසුන් වැඩ පිණිස වැජඹෙනු ඇත. එයින් විහිදෙන ආලෝකය මුළු මහත් දිවයිනම තවත් සියවස් ගණනාවක් ඒකාලෝක කරනු නියත ය.

   

    
    
        
සටහන : කේ.ජී.ඩී.යූ.ප්‍රේමදාස 
                       ජනසන්නිවේදන අධ්‍යයන අංශය

ආශ්‍රිත ග්‍රන්ථ
1.   රෝහණදීර මැන්දිස්,අස්ගිරියේ තල්පතින් අළුත් වන  ශ්‍රී ලංකාව,(1970)
2.   අස්ගිරි මහා විහාර ඉතිහාසය-සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව(1976)

නූතන ග්‍රන්ථ
බුදුසරණ අන්තර්ජාල කලාපය (2012)
යඑඑචිථරැරැිසගපගඅසනසචැාස්ගදරටඝඅසනසඝඅස්ගිරි විහාරය