නිල් ගුවන සිසාරා රන් පැහැ ගත් ළහිරු රැස් පැතිර යන කල්හි සයිමන් අයියා දර කරත්තයත් දක්කා ගෙන කඩමණ්ඩිය වෙත පිය නැඟුවේ හැමදාමත් පුරුදු රාජකාරිය අද දවසේත් නිම කිරීමට අදහස් කර ගෙන ය. සතලිස් වියැති සයිමන් අයියාගේ බිරිඳ වන රංගම්මා අද කරත්තය පිටුපස නැත්තේ ගෙදර බලාපොරොත්තු නොවූ රාජකාරියක් ඇයට පැවරුණු නිසාවෙනි. සයිමන් අයියා රංගම්මා හා සමඟ විවාහ පත් වූයේ සිරිත් විරිත්, නැකැත්, කුල දම් අනුව නොව අතරමග දී හමුව ඇති කර ගත් මිතුරුකමක් මුල් කර ගෙන ය. තේ දළු නෙලීම සඳහා එගොඩ වත්තට පැමිණෙන රංගම්මා හා හාද වන්නට සයිමන් හට එතරම් කාලයක් ගත නොවිණි. පැහැයෙන් අඩු වුව ද නෙත් වසඟ කරන රූ සපුවක් ඈ සතු වූවා ය. ඒ දෙදෙනාගේ විවාහයට ගමේ වැඩි දෙනෙක් අකමැති වූයේ අනෙකක් නිසා නොව රංගම්මා දමිළ කාන්තාවක් වීම ය. නමුදු ඔවුන් විවාහ වූ දවසේ දී ත් ඉන් පසුවටත් සාමාවතී උන්දෑ ඔවුන්ගේ රැකවරණෙට මෙන්ම අත් උදව්වට ද සිටියා ය. ඒ සමාවතී උන්දෑ කාරුණික හදවතින් කා හටත් සම සිතින් එක ලෙස සළකන නිසාවෙනි.
“කෝ බං අද රංගම්මා .....?” යැයි ගං ඉවුර පසෙකින් වූ අට්ටාලයක් තුළ කුඩාවට තේ කඩයක් කර ගෙන යන කරනේලිස් මුදලාලි ඇසීය.
“මුදලාලි අද අපෙ මායියට ලොකු රාජකාරියක් පැවරුණානේ ... ඉතිං එයා කැමැත්තෙන්ම නැවතුණා....”
“දර කොච්චර විතර බාන්ට ද?”
“ඔන්න ඔය හොණ්ඩර කාලක් විතර ඇති බං. ඒක නෙවෙයි බොල. මොකක්ද කියහංකො ඔය මහ ලොකු රාජකාරිය ... ”
“අර රාජදාසලාගේ අම්මා, ඊයේ උදැහැනැක්කෙම දර කඩන්නටෙයි කියලා තනි පංගලමේ කැලේට ගොහින් එනකොට පය ගලක හැපිලා වැටිල. එක අංසයක් පණ නැතිව ගෙහුං. ඉතින් සිලිඳි නඟයි හීං අම්මා නැන්දයි දෙන්නා එකතු වෙලා වෙද රාළ ළඟට එක්කන් ආවා. රැ බෝ වූණ නිසා මං කීවා අපේ ගෙදර ඉන්නටෙයි කියලා. ඔය මනුස්සයා නම් අපේ ගෙදර හැමදම හිටියත් මං සළකනවා...”
“කොයි... අර සාමාවති උන්දෑ ද?”
“ඔව් ඔව් උන් දෑ තමයි.”
“අනේ ඔව්. ආයේ වරදක් නෑ, හිත හොඳ කරුණාවන්ත අහිංසක අම්මණ්ඩි...”
ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දියණිය බඩ පිස්සී, සිරියලතා ඉපිද වසර පහක් පමණ ගත වන විට තාත්තා ගඟෙහි මාළු අල්ලමින් සිටිය දී ඔරුව පෙරළී දියේ ගිලී මියැදුණේය. රාජදාසගේ ද පියා වන මොහු බේරා ගැනීමට පිහිනීමෙහි ශූරයෙකු වූ සයිමන් මැදියම් රැය වන තුරුත් උත්සාහ දැරුව ද පසු දා පහන් වන විට ගොඩ ගත හැකි වූයේ ඔහුගේ මියැදුණු සිරුර වුවත් එදින සයිමන් තම පවුල වෙනුවෙන් කරන ලද කැපවීම පිළිබඳ මතකය සාමාවතීගෙන් ඈත් නොවිණ.
වසර ගණනාවක් ගත විය. රාජදාස කොළඹ රක්ෂාවකට ගියේය. ඔහු සිදාදියේම රස්සාවත් පරස්තාවත් දෙකම කර ගත්තේ ඔහුගේ හිතු මනාපෙටය. මුල දී පවුලේ අනෙක් අය පිළිබඳව විටින් විට සොයා බැලුවත් කලක් ගත වන විට වැඩ අධික බව පවසා එය ද අත් හැර දැමීය. එදිනෙදා කුලියක් කර ගෙන ජීවත් වන ඔහුගේ සොයුරා වන වීරදාස සුරා සොඬෙකි.
වීරදාසගේ හැසිරීම රාජදාසටත් වඩා නොරිස්සූ රාජදාසගේ බිරිඳ ගමේ පවුලේ අය සමඟ රාජදාසගේ තිබූ සම්බන්ධය නැවැත්වීමට එයම හේතුවක් කර ගත්තා ය. නමුත් ගම් සභාවේ මැම්බර් උන්නැහේ සමඟ සමීප සබඳතා ගොඩ නඟා ගත් වීරදාස ගම්මුන්ගේ ද හිත දිනා ගෙන සිටි අයෙකි.
ගමේ ඇතැම් පිරිමි අය ගඟෙහි මාළු ඇල්ල්ීමට පුරුදුව සිටි අතර අනෙකුත් පිරිමි සහ ගැහැණු අය රැකියාවට කළේ තෝර යාය වත්තේ වැඩ කිරීමයි. ගම්මුන් සහ තෝර යාය වත්තේ වැඩ කළවුන් අතර මතු පිටින් පෙනෙන සුහදතාවයක් තිබුණේ වී නමුදු යටි හිතේ සැඟව තිබූ සැක සංකා ද නැතිවා ම නොවේ. එයට හේතු වූයේ මැම්බර් මහත්තයා නිතර ම ගම්මුන් සමඟ කතා කළේ ඔවුන් වෙනම පිරිසක් ලෙසට වෙන් කරමිනි.
හැමදාමත් වැඩ අහවර වූ පසු සවස් යාමේ ගල් අම්බලමට එක් රොක් වීම ගමෙහි තරුණයන්ගේ පුරුද්දක්ව පැවතිණි. ගමෙහි මුතුන් මිත්තන් සිහි වීමට තැනුවක් ලෙසත්, සිංහල උරුමය රකින වස්තුවක් හැටියටත් එය ගම්මුන් විසින් සළකන ලදී. මෙලෙස සතුටු සාමිචියේ යෙදෙන අතරේ ඒ අසලින් වැටී ඇති ගුරු පාර දිගේ සිරියලතා හා ඇගේ යෙහෙළියන් කෙලි කවට සිනා පාමින් යන විට ඇය ආලවන්තකම් පාන සිරිපාල ද එහි සිටියේය. මේ අතර වීරදාසගේ ගජ මිතුරෙකු වන කචල් චූටි ද සිටියේය. මෙම පෙම් පලහිලව්ව පිළිබඳ ව වීරදාසට සැල කිරීමට ඔහු සිතුවේ ඔහුට තිබෙන නිවට නියාලූ බිය නිසාවෙන් මිස, සිරියාවතිගේ අරක්ෂාවට හෝ ඇයට ඇති ලෙංගතුකම නිසා නොවේ.
ලියන්ගස්යාය ගමෙහි බෙහොමයක් ගෙවල් සකස් ව තිබුණේ කටු මැටි බිත්තිවලින් සහ පොල් අතු සෙවිලි කිරීමෙනි. සයිමන් අයියාගේ නිවස ද කටු මැටියෙන් තැනු කුඩා නමුත් සිරියාවන්ත පෙනුමකින් යුතු එකක් විය. ඔහුගේ බිරිඳ රංගම්මා, සියළු අඩුමකුඩුම වලින් අංග සම්පූර්ණ මුළුතැන් ගෙයක් පවත්වා ගෙන යන අතර සෑම උදෑසනකම අවදිව ඉඳි ආප්ප, වඬේ, තෝසේ ආදිය සකසා කරනේලිස්ගේ කඩයට දමා එයින් ද සුළු මුදලක් උපයා ගනී. සිංහල කතක පරිද්දදෙන් ඉතා හොඳින් වචන උච්චාරණය කර බස වහරන්නට ඇයට මහ ලොකු කලක් ගියේ නැත. ගමේ පන්සලේ සිදු කරනු ලබන සෑම කාර්යයකටම සයිමන් සමඟ නිරතුරුව සහභාගී වන ඈ තෝර වතු යායේ කෙළවර පිහිටි පුරාණ පුල්ලියාර් කෝවිල වෙත ගොස් පුද පූජා පවත්වන්නී ය. සෑම සෙනසුරාදා දිනයකදී ම නිවස හොඳින් පිරිසිදු කොට කහ දියර ඉස, මනාව පේ වී, රතු පැහැයට හුරු සාරියකින් සැරසී නිවසෙහි තැන්පත් කොට ඇති දේව ප්‍රතිමාව සුවඳ පැනින් නහවා, කළ යුතු වතාවත් නිසි ලෙස ඉටු කරන්නීය. සයිමන් ද අවශ්‍ය කළමනා සකසා දුන්න ද ඒවාට සම්බන්ධ නොවන්නේ ඇයට රිසි පරිදි එම කාර්යය ඉටු කිරීමට ඉඩ සලසාලමිනි.
පූජාව පවත්වා අවසන් වූ පසු ඇගේ නළල් තලය මත සින්ධූර් තැවරුවේ සයිමන්ගේ අතිනි. ඉන් පසුව ඔහුගේ දෙපය මත අත්ල තබා ආශිර්වාද ලබා ගැනීමට ඈ ද අමතක නොකරයි. අලුත බැඳපු ජෝඩුවක මෙන් ඔවුන්ගේ ආලය දිනෙන් දින මෝරා ආයේ ය. අඩුවකට පැවතියේ කිරි කැටියෙකුගේ සුරතල් බැලීමට ඔවුනට වරම් නොලැබීම පමණී. දෙදෙනාගේම සිතෙහි, ඒ කෙරෙන් වූ සියුම් ශෝකයක් පැවතිය ද එය දෙදෙනාම සඟවා ගෙන හුන්නේ ය. නමුදු ඒ පිළිබඳ වූ අඩුව නොදැනෙන්නට සයිමන් වග බලා ගත්තේ ය. දීපාවලි දිනයට මෙන්ම සිංහල අලුත් අවුරුද්දට රංගම්මා අතින් ගිතෙල් මුසු කොට නිම වන රසකැවිලි වල මිහිර විඳ ගැනීමට ඔවුනට හිතවත් ගමේ ලොකු කුඩා කවුරුත් ආශා කළෝ ය. මසකට එක් දිනයක් තෝරා ගෙන සිය සැමියා වෙනුවෙන් දිගා සිරි පතා උපවාස කිරීමට ද ඇය කටයුතු කළා ය. එමෙන්ම නිවසෙහි ඇති කරන හඳයා ඇයගේ දරුවකු හා සමානව රැක බලා ගත්තා ය.
දිගින් දිගටම සයිමන් තම මව නිවසෙහි තබා ගෙන සත්කාර කරන ආකාරය වීරදාසගේ හිතට එතරම් ඇල්ලුවේ නැත. ඊට හේතුව කෙදිනක හෝ තාත්තාගේ කසාද උරුමෙට අම්මාට අයිතිව තිබෙන වී තුන් පෑලටවත් කණ කොකා හඬාවිදැයි ඔහු තුළ තිබුණු සැකය නිසාවෙනි. ඒ බවක් අඟවන්නේ නැතිව ඔහු නිහඬව සිටියේ අම්මාගේ වැඩකටයුතු ටිකත් සයිමන් අයියා අතින් සිදු වන එක ඔහුට ගැලවීමට හේතුවක් වන නිසා ය. නමුත් සිරියලතා සයිමන් අයියාටත්, රංගම්මාටත් ඇල්මක් දැක්වූයේ සිය මව වෙනුවෙන් ඔවුන් කරන කැපවීම සත්භාවයෙන් ම අගය කරන නිසාවෙනි. ඇය අම්මාට කසාය හැලිය තම්බන්නට රංගම්මාට උදව් වී නිවසට ආවේ ගෙදරදොර අහුරා අතු ගා පිළිවෙලක් කොට මද්දු අයියා ගෙදර එන විට මොනවා හෝ කෑමට යමක් පිළියෙල කිරීමට අදහස් කර ගෙනය.
ගෙදරට සේන්දු වන මද්දු අයියා දුටු සිරියලතා සුපුරුදු පරිදි තම කටයුතුවල යෙදී සිටිය ද කට කොනක් බී ගත් ඔහු එකවරම ඇයගේ ඇගට කඩා පැන්නේ,
“ඈ බං සිරියෝ.. උඹට මොකක් ද අර කැනහිලා සුමනපාල එක්ක තියෙන ඇයි හොඳයිය ... ”
ඉන් බියට පත් සිරියලතා, “මොන සුමනපාලයෙක්ද... එයත් එක්ක මගෙ ඇති පයිරු පාසානමක් නෑ.” කියමින් කලයත් උකුලේ තියා ගෙන ළිඳට ගියේ හිතේ මහත් නොසන්සුන්තාවයක් ඇතිව ය.
“හා හොඳයි. මං බලා ගන්නම්කෝ ...” කියමින් මද්දු අයියා ගේ ඇතුළට යනු සිරියලතා හොඳින් බලා සිටියා ය. ඔහු කිසි දිනෙක තමාට මෙහෙම කතා කොට නැතැයි සිතු සිරියලතා කවුරුන් හෝ තමාට විරුද්ධව අයියාව උසි ගන්වා ඇති බවට සැක කළා ය.
අයියාගේ මෙම ගෝරනාඩුව දිගින් දිගටම පැවතීම මහත් හිසරදයක් වූ අතර අම්මාගේ අසනීප තත්ත්වය උග්‍ර අතට හැරීමත් නිසා තමාගේ අනාගතය පිළිබඳව ඇයට දරා ගත නොහැකි වේදනාවක් කම්පනයක් සිතට ගෙන දුන්නේ ය. ඒ පිළිබඳව කියන්නටවත් කෙනෙක් නැතිව සිරියලතා වල්මත්ව අසරණව කාලය ගත කළත් අම්මාගේ අසනීපය ගැන කිසි ලෙසකින් වත් අවධානය අඩු කළේ නැත. රංගම්මා සමීපව ඇසුරු කරන නිසා ගම්මුන් ඈව ද වැඩිය ගණනකට ගත්තේ නැත. නමුදු සයිමන් අයියා හා රංගම්මා අක්කා අමතක කිරීමට නොහැකි තරමට ම තමාගේ ජීවිතයට සමීප වී තිබීම නිසා ගම්මුන් ඇයට එහි නොයන ලෙස ආඩපාලි කීවත් ඒවා කනකට නොගත්තා ය.
මද්දු අයියා විතරක් නොව මැම්බර් මහත්තයා ඇතුළු ගමේ බොහෝ දෙනෙක් තුළ සයිමන් ගේ විවාහය පිළිබඳව නුරුස්නා ගතියක් තිබුණේ වුව ද එම දෙපළ තුළ තිබුණු මනුෂ්‍ය ගති ගුණ නිසා ඔවුන්ට එරෙහිව කිසි දෙයක් කරන්නට කිසිවෙක් පෙළඹුණේ ද නැත.
කලක් යන විට සුමනපාලට ද වීරදාස අඩම්තේට්ටම් කරන බව ආරංචි වූ සිරියලතා එක් උදෑසනක සයිමන් අයියාගේ නිවසට ගියේ තරමක මුරණ්ඩු තීරණයක් ද සිතෙහි රඳවා ගෙන ය.
“ඈ සිරියලතා නංගී. මොකෝ මේ උදැහැනැක්කකෙම කුකුළත් කරේ තියන් ...”
“නෑ අයියේ. මට හිතුණා උදෙන්ම අම්මව බලන්ට ඕනෙ කියලා.”
“වෙනදටත් උඹ ඔහොම එනවනම් මෙහෙම නාහා ඉන්ට තිබුණා. ඒත් මට පේන විදියට උඹ අද වෙනදා වගේ නෙවෙයි නංගියේ...” යැයි රංගම්මා ඇයට සමීප වෙමින් කීවා ය.
“මං ගමෙන් යන්ට හිතුවා අයියේ.”
“නංගී කොහෙ යන්ටද?”
“මම සුමනපාල අයියා එක්ක ගමෙන් පිට වෙන්ට හිතුව.”
“හත් දෙයියනේ .... උඹට පිස්සු ද? තව ටිකක් මේ ගැන හිතලා බලපන් .”
“නෑ අයියේ, මං මේ ගැන හොඳ හැටි හිතා බලලා ඉවරයි. අයියා දන්නවනේ සිද්ධිය මොකක්ද කියලා. මං හෙටම ගමෙන් පිට වෙනවා. මගේ අම්මාගේ ජීවිතය රැඳිල තියෙන අයියටත් අක්කටත් මේ බව දන්වලා යන එක යුතුකමක් හින්දයි මං මෙ උදෙන්ම තකහනියක් මෙහෙ ආවේ.”
ගත වූයේ ටික කාලයකි. අම්මා ටිකෙන් ටික ජීවිතයේ අවසන් හුස්මට ළං වෙමින් සිටියා ය. ඒ බව රාජදාසවත් සිරියලතාවත් නොදැන සිටියේ ඔවුන් ගමෙන් දුරස්ව සිටිය නිසාවෙනි. වීරදාස ගම් තුලානේම රැඳී සිටිය ද ඔහුට මේ බව වගේ වගක් නැත.
සැඳෑ අඳුර ලියන්ගස්යාය ගම වට කරද්දී සයිමන් කරත්තය දක්කා ගෙන ගෙදර දෙසට ගමන් කළේය. රංගම්මා දිය කලයක් ද රැගෙන ගෙතුළට යනවා දකින විට ඔහුට බොහෝ දේවල් සිතට ආයේ ය. ලේ උරුමකමට නෑදැකමක් කියන්නට සයිමන්ට කෙනෙක් නොමැති වුව ද තමන්ගේ ජීවිතේට රංගම්මා වැනි බිරිඳක් ලැබීමත්, රාජදාසලාගේ අම්මා තමාගේ ම මව ලෙස රැක බලා ගන්නනට ලැබීමත් ඔහු සැළකුවේ දෛවයෙන් ලද ත්‍යාගයක් ලෙසට ය. ගිනියම් මහ දාවල කන් පුරා වැකුණූ මිනිසුන්ගේ ජීවිතවල දුක් අඳෝනාවල හඬ කෙමෙන් වියැකී යද්දී , රැහැයි හඬ කටෝර ලෙසින් මුළු පරිසරයම වෙලා ගෙන හමාර ය. විටින් විට මා වවුලෝ ද “චිරීස්... චිරීස්...” යන හඬ නංවමින් කෑ මොර දෙන්නට පටන් ගත්තෝ ය. කලාතුරකින් ඇසෙන උලමාගේ හඬ ද ලියන්ගස්යාය දෙවනත් කර ගෙන අද ඇසෙන්නේ ඇයි දැයි නොදැනේ.
නිදි වරමින් සිටි රංගම්මා හට රාජදාසලාගේ අම්මාගේ කෙඳිරිලි හඬෙහි අමුත්තක් දැණිනි. ළඟ නිදා සිටි සයිමන් ගේ උරහිස සොලවා මුවින් නොබැණ අවදි කොට ගෙන සාමාවතී අම්මා ළඟට ගියේ හදවත තුළ උතුරා ගිය මාතෘ පෙම ද සිත දරා ගනිමිනි.
කෙඳිරිලි හඬ කෙමෙන් කෙමෙන් වැඩිවත් ම කළ යුතු සාත්තු සප්පායම් ද අවශය පරිදි සිදු කළ ද පසුදා හිරු නැගෙන්නට හෝරා එක හමාරක් පමණ තිබිය දී ඈ සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේ ජීවයෙහි පවතින අනිත්‍ය බව සියල්ලන්ට ම පසක් කරවමිනි. එමෙන්ම සයිමන් අයියාටත් රංගම්මාටත් දරා ගත නොහැකි ශෝකයක් හා පාළුවක් ඉතිරි කරමිනි.
සයිමන්ගේ ගෙදර ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසාත්, ගම්මුන් ඔහුගේ නිවසට එන්නට තිබූ අකැමැත්ත නිසාත්, වීරදාස සමඟ එතරම් සබඳතාවක් නැති නිසා ඔහු සම්බන්ධ කර ගැනීම අවුල් සහගත වීමත් යන හේතු මුල් කර ගෙන සයිමන් අවසානයේ දී සාමාවතී අම්මාගේ අවසන් කටයුතු සඳහා ස්ථානය ලෙස තෝරා ගත්තේ කාටත් පොදු ස්ථානයක් වූ ගල් අම්බලම ය.
සයිමන් කළේ තමන්ට පමණක් හිතවත් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගෙන ගල් අම්බලම අවට පරිසරය පිරිසිදු කර ගොක් කොළ හා සුදු කොඩි එල්ලා සැරසීමයි. පසුව කරත්තය පවිත්‍ර කොට සාමාවතී අම්මා, රංගම්මාගේ සුදු සාරියකින් ඔතා එහි තබා හෙමින් සීරුවේ අම්බලම ළඟට දක්කා ගෙන යාමයි. හඳයාගේ ගෙල බැඳි සීනුවේ හඬ ද පරිසරයට එක් කළේ ශෝකාකූල භාවයකි. ඒ පිටු පසින් රංගම්මා ත් හීන් අම්මා නැන්දා ත් ගමන් කළේ තබන පියවර දෙසට නෙත් යොමා ගෙන ය.
ලියන්ගස්යාය ගමේ සාමාවතීලාගේ පිරිවරත් තෝර වත්තේ රංගම්මලාගේ පිරිවරත් වට කර ගත් ගල් අම්බලම වටා මනුෂ්‍යත්වයේ දේංකාරය රැව්පිළිරැව් දුන්නේ ය. රාජදාසත් ඔහුගේ බිරිඳ සහ දරුවනුත් විවිධ විලාසිතාවන්ගෙන් යුතු සුදු ඇඳුමින් සැරසී පැමිණි අතර, බලා සිටිය වුන් මවිත කරවමින් හඬන විට ගම්මුන් එකිනෙකාගේ මුහුණ දෙස බලා ගත්තේ වේදනාව යටපත් කර ගෙන මතු වූ උපහාසය පිරි කට කොන රැඳි සිනාවන් සමඟිනි. වීරදාස ද මැම්බර් මහත්තයා හා සගයන් සමඟ පැමිණ මල් වඩමක් තබා ශෝකය පළ කළේ ය. සිරියලතා ත් සුමනපාල ත් එනු දුටු වීරදාස ඔවුන් මඟ හැර ගිය ද සයිමන් අයියා ත් රංගම්මා ත් හීං අම්මා නැන්දා ත් ඔවුන් දෙදෙනා වැළඳ ගත්තේ සියල්ලගේ සිත තුළ තිබුණූ ශෝකය තව තවත් තීව්‍ර කරවමිනි.
ගමෙහි සිදු වන සෑම කටයුත්තකදී ම කාටත් එක ලෙසින් සහාය වන වෙද මහතාගේ ද උදව් ඇතිව සයිමන් අයියා හා රංගම්මා ඈ වෙනුවෙන් අවසන් වශයෙන් සිදු කළ යුතු ආගමික කටයුතු ද මනා කොට සිදු කොට ඇයට නිවන් සුව පැතුවෝ ය. එතෙක් කල් රංගම්මා කෙරෙන් ගම්මුන් තුළ තිබූ අපැහැදීම පහව යන්නට ගත වූයේ සුළු නිමේෂයකි.
නිමි.
-මංජරී -
No comments:
Post a Comment