Wednesday, 29 May 2019

ස්වභාදහම් දිනිතියට ආශිර්වාදයක් වූ එහි ම්යුරු වූ දිය උල්පත....



                                      “ ගොම්මුන්නා කඳු වැටියයි  ළිහිණිය  කන්දයි
                                            දැදුරු ඔයේ දිය බිඳුවයි පත්තිරිප්පුවයි
                                        නුග සෙවණේ පහස ලබන දිය හොඳ ඇල්ලයි
                                           වට කරගත් මොරන්කන්ද වෑවල උතුරයි
                                                මගෙ රජ දහනයි    -    අපෙ රජ දහනයි ”

                                                               (සංකල්ප සංවාද සමඟ සංවේදනා - එස්- මාරුද්දනගේ)




 ස්වභාවදහම් දිනිතියගේ අපූර්වතම වූත්, ආශ්වාදනීය වූත්, සුන්දර වූත් ප්‍රතිමූර්තිය වන්නේ අප අවට ඇති සුන්දර පරිසරය යි. මිහිමත වසන සියලුම ජීවි සමූහයාගේ මෙන්ම එහි පවතින්නා වූ  අනෙකුත් සියලුම අජීවි වස්තූන්ගේ රජදහන බවට පත් වන්නේ ද සුන්දර පරිසර මාතාවයි. සජීවි ප්‍රාණියෙකුට සිය මව හැරුණු කොට මාතෘත්වයට සම කළ හැක්කක් ලෙසින් පරිසරය නැමැති මාතාව ගෙන හැර දැක්වීම යෝග්‍ය බවට පත් වන්නේ ජීවින්ගේ පැවැත්මට අවශ්‍ය මූලික සාධක වන ආහාර, පිරිසිදු ජලය හා වාතාශ්‍රය, බෙහෙත් ඖෂධ මෙන්ම වාසස්ථාන ආදී බොහෝ දේ මිල නොකොට අමිල ලෙසින් ලබා දෙන බැවිනි. මිහිතලය  පවතින්නේ “මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙනි.යැයි ප්‍රකාශ කිරීම ම මෙහි වූ උත්තරීතරත්වය ප්‍රත්‍යක්ෂ කර හමාරය.  
     ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙසින් අප වඩාත් භාග්‍යවන්ත වන්නේ ලක් මාතාවගේ ගෙල බැඳි රන් දමක් පරිද්දෙන් ඇගේ සුන්දරත්වය වඩවාලන වන උයන්, මල් උයන් පල උයන්ගෙන් විචිත්‍රවත් වූත්, ධවල පැහැගත් දියදහරාවන් හා ගංගා, ඇළදොළ, අහස් කුස පරයා නැග ගත් උස් කඳු මුදුන් ද, ඒවා පිස සිඹ හමනා මද පවනින් ද, නේක විධ වන සිව්පාවුන්ගෙන් ද, කන්කළු නඳින් ගී ගයනා සියොතුන්ගෙන් ද, ගහනය වූත් සශ්‍රීකත්වයෙන්  ආඪ්‍ය වූත්, නිකලැල් ස්වභාව සෞන්දර්යයකින් යුතු පරිසර පද්ධතියක් ඇයට උරුම වීම නිසාවෙනි. සෞම්‍ය දේශගුණයකින් හෙබි, පාරිසරික සෞන්දර්යයෙන් අනූන මන බඳින දසුනින් නෙත් සිත් වසඟ කොට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ඇයට හැකි වූයේ ද නුදුරේ දී හැකි වන්නේ ද උක්ත කරුණ නිසාවෙන්මය.
   එමෙන්ම මිහිමත පය ස්පර්ශ වන මොහොතක් පාසාම දැනෙන සංවේදනාවන් තුළින් කවි සිතුවිලි පහළ වන්නටත්, නෙත් මානයේ ගැටෙනා මනහර දසුනින් ගත සිත පුබුදුවාලීමටත් සමත් සොඳුරු තෝතැනි  ලක් මවට නොඅඩුව හිමිව ඇත.
   ඒ අතුරින් වන ලැහැබින්, ගිරි ශිඛරින්, ගිරි කඳුරින් ගහනය වූ මධ්‍යම කඳුකරයෙහි පිහිටි සුන්දරත්වය අන් කවරකටත් නොදෙවෙනිය. එයිනුත් අතීතයේ සිට උඩරට රාජධානියේ ශ්‍රී විභූතිය කියා පෑ සෙංකඩගල පුරවරය හෙවත් සුන්දර මහනුවර නගරය මන බඳින නෙත් වසඟ කරන පාරිසරික සුන්දරත්වයෙන් අනූන  නගරයක් වශයෙන් පිළිගැනීමට ලක් වන්නේ දෙස් විදෙස් සංචාරක ආකර්ශණය එයට නොමඳව ලැබෙන නිසාවෙනි. 
  මෙහිදී සඳහන් කළ යුතු වැදගත් ම කාරණය වන්නේ භූගෝලීය පිහිටීම , ස්වභාවික සෞන්දර්ය, දේශගුණය, ආගමික හා සංස්කෘතික වටිනාකම, පුරාවිද්‍යාත්මක වටිනාකම, ආරක්ෂාව මෙන්ම නුවර වැසියන් තුළ පවත්නා සිත් ඇද ගන්නා සුළු ආකල්ප හේතු කොට ගෙන එහි වූ සුන්දරත්වය තව තවත් ඔප මට්ටම් වීමයි- මෙවන් වූ සුවිශේෂි පාරිසරික පිහිටීම පිළිබඳව වීමසීමේ දී උස් කඳු මතින් ගලා හැලෙනා ධවල පැහැ ගත් දිය දහරාවන්, වනස්පතීන්  මෙන්ම  බෝගම්බර වැව හා  නේක විධ ශාක හා ජෛව පද්ධතියෙන් යුතු  එහි වැව් තාවල්ලත් සුවිශේෂී වේ. මහවැලි , කැලණි , කළු හා වලවේ යන  සිව් මහා ගංගාවන් සමනොල අඩවියෙන් ආරම්භ වී මහ සයුර තෙක් අපූරුවට ගලා බසින කල්හි එම සිව් මහා ගංගාවන් පෝෂණය කිරීමෙහිලා කුඩා කුඩා දිය දහරාවන් එකතුවීමෙන් නිම වන ඇළදොල ද මන වඩන දසුන් ඔස්සේ පාරිසරික සුන්දරත්වය හා එහි චමත්කාරය ඔද වඩාලන්නට සමත් වෙයි.  එහිදී සුන්දර මහවැලි නදිය සිප ගැනීමට නන් දෙසින් ගලා එන දිය දහරාවන් අතුරින් දැදුරු ඔයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. 
      කුරුණෑගල දිස්ත්‍රික්කයේ  රිදීගම හා මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් ගොම්මුන්නා නම් කඳු මුදුනේ  සිට ආරම්භ වන්නකි, දැදුරු ඔය. මෙම ගොම්මුන්නා කන්ද  අතරමැදි කලාපයේ පිහිටි සුවිශේෂි පරිසර පද්ධතියකි. දැදුරු ඔය දිග අනුව ශ්‍රී ලංකාවේ හත් වන ස්ථානය හිමි කර ගන්නා අතර දිගින් එය 142 km  ක්  වේ. එනම් සැතපුම් 08 ක් පමණ වේ.  ඉතා කුඩා කාලයක දී මෙහි ජල මට්ටම ඉතා සීඝ්‍ර ලෙස ඉහල යන බව සැලකේ. මේ නිසාම ‘අප්පට පුතේ ’යැයි කියූ කතාවක් පිළිබඳව ජනප්‍රවාදයේ පැවත එයි. බතලගොඩ ජලාශය පෝෂණය වන්නේ ද දැදුරු ඔය මඟින් වේ. එමෙන්ම ලංකාවට ආවේණික ජීවි විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන ගොම්මුන්නාව දැදුරු ඔයේ ජල පෝෂක වනාන්තරයකි. දැදුරු ඔයේ ආරම්භය මොරන්කන්ද ග්‍රාමය කේන්ද්‍ර කර ගෙන ආරම්භ වන අතර එහි ජල පෝෂක ප්‍රදේශය වන්නේ අක්කර 25000කට වැඩි වපසරියකින් යුතු ගොම්මුන්නා කන්දයි.
  ග්‍රාමයේ උගත්   වියතෙකු ලෙසින් කටයුතු කරන එස් .මාරුද්දනගේ මහතා විසින් රචනා කරන ලද , ලිපිය ආරම්භයේ දී සඳහන් කරන ලද ග්‍රාමයේ ගීතයේ සඳහන් වන පරිදි ගොම්මුන්නා කඳු වැටිය, ළිහිණියාගල කන්ද හා පත්තිරිප්පු කන්දෙන් වට වූ සුන්දර භූමියක පිහිටියා වූ මොරන්කන්ද ග්‍රාමය දිගු ඉතිහාසයක් හිමි එමෙන්ම සොඳුරු පුරාවෘත්තයක් හිමි නිස්කලංක ගම් පියසකි. මොර නැමැති ශාකය විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබූ බැවින් ආරම්භයේ දී මොරගහකන්ද ලෙසින්  ගම්මානයට නම් පට බැඳිණි.
 මෙරට බි්‍රතාන්‍ය පාලන සමයේ  දී මෙරටට ගෙන්වා ලද දකුණු ඉන්දීය දෙමළ කුලී වතු කම්කරුවන් මෙහි මුල් පදිංචිකරුවන් විය. එහිදී ඔවුන් මෙම ‘මොරගහකන්ද’ යන නාමය උච්චාරණය කිරීම අපහසු වූ බැවින් ඒ වෙනුවට මොරන්කන්ද යන නාමය යොදා ගන්නා ලද බව පැවසේ. එතැන් සිට මෙම  ගම්මානය හඳුන්වන්නේ  මෙම නාමයෙනි. ඉන් අනතුරුව ‘ඊ.එල් මහත්තයා’ නමින්  එකල  ගම්මුන් හැඳින් වූ බි්‍රතාන්‍ය ජාතිකයා විසින් විශාල වන ගහනයකින් යුතු මෙම භූමිය කැබලි කොට ඒවායෙහි සේවය කළ පුද්ගලයින් හට එම ඉඩම් අත්පත් කර ගෙන තමා සතු කර ගැනීමට අවස්ථාව ලබා දුන් බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. එතැන් සිට වතු කම්කරුවන් පිරිස මේ ප්‍රදේශය අත හැර වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වී ඇත.
                                                                                                 
   දුරාතීතයේ සිටම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට උරුමකම් කියන මෙම ගම් පියස තේ, පොල්, කොකෝවා, පුවක්  යන ප්‍රධාන භෝගයන්ට අමතරව  සාදික්කා, කරාබු, කුරුදු, ගම්මිරිස් ආදි කුළු බඩු මෙන්ම කොස්, දෙල්, රඹූටන්, ජම්බු ආදියෙන් මෙන්ම ගව සම්පතින්ද  ආඪ්‍ය වූ ස්වයංපෝෂී ඒකකයකි. එමෙන්ම පිරිසිදු උල්පත් ජලයෙන් පිරි ඉතිරී යන ළිං , පොකුණු හා  ඇළදොල  පිහිටීම ද මෙහි ගම් වැසියන්  ස්වභාව දහමින් ලද ඉමහත් දායාදයක් ලෙසට සැලකිය හැකිය. සරල දිවි පැවැත්මකට උරුමකම් කියන සැදැහැති බෞද්ධ ගැමියන් පිරිසක් ද මෙහි වාසය කරයි. වර්ෂ 1952 ඩී.එස්  සේනානායක පාලන සමය තුළ ගම පුළුල් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ  පිහිට වූ ජනපදවාස මුල් කර ගෙන අද වන විට මෙහි  ව්‍යාප්ත ව ඇති මුළු පවුල් සංඛ්‍යාව 400 කට අධික වේ.

 මොරන්කන්ද ගම් පියසෙහිම ඉපිද එහිම හැදී වැඩී එහි වූ සුන්දරත්වයට නිතැතින් ඇළුම් කරන වියත් උගත් බුද්ධිමතෙකු වන සෝමපාල මාරුද්දනගේ මහතා කවියෙකු, ග්‍රන්ථ රචකයෙකු මෙන්ම තෙලි තුඩින් නෙක සිතුම් මවන සිත්තරුවකු වශයෙන් ද කලාවට ඉමහත් සේවයක් ඉටු කරන්නෙකු වේ. මෙම සොඳුරු මිනිසා ගම් පියසේ පාරිසරික සුන්දරත්වය විමසීමෙහිලා  මෙන්ම සුන්දර දැදුරු ඔයෙහි ආරම්භක ජල ම්‍රලාශ්‍රය සම්බන්ධ හා ඊට අවැසි තොරතුරු ලබා ගැනීමේ දී ලබා දුන් සහයෝගය මෙහිලා තුති පූර්වකව සිහිපත් කළ යුතුය. 
ග්‍රාමයේ ප්‍රධාන නායකයා වශයෙන් කටයුතු කරන ගෞරවනීය නායක මා හිමිපාණන්වහන්සේ මෙන්ම ග්‍රාමසේවක නිලධාරීතුමා ද මේ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දුණි. 
         මෙවන් සුන්දර සශ්‍රීක පරිසරයකට උරුමකම් කියන මොරන්කන්ද ග්‍රාමයේ උතුරු කොටසේ එනම් වර්තමානයේ වෑවල උතුර නමින් හැඳින්වෙන ප්‍රදේශය මුල් කර ගෙන පිහිටියා වූ  01 ( එකේ ) වල 02(දෙකේ)වල නමින් ජන වහරේ පැවත එන දැදුරු ඔයෙහි ප්‍රධාන ජල මූලාශ්‍රය පිළිබඳව කෙරෙන සොඳුරු විපරම මෙතැන් සිට ඉදිරියට ඇදෙන්නේ එහි වූ සුන්දරත්වය හා අපූර්වත්වය කියා පෑමට ය.
        

 “උපන් බිමට වැඩිය තැනක් - කොහෙද තියෙන්නේ ----” යනුවෙන් විශාරද නන්දා මාලනිය විසින් ගයන ගීයක පැදි පෙළ සිහි ගන්වමින් කුඩා කල පටන් මා  හැදී වැඩුණු සොඳුරු ගම් පියසෙහි සුන්දරත්වය ඔද වඩවාලන ඇගේ ගෙල බැඳි රන් දමක් බඳු දැදුරු ඔයෙහි ප්‍රධාන ජල මූලාශ්‍රය හා එම ඇල මාර්ගයෙහි සුල මුල සොයා ගිය ගමනේ එහි ඓතිහාසික සාධක පිළිබඳව අදහස් දක්වමින් එස් - මාරුද්දනගේ මහතා ප්‍රකාශ කර සිටියේ ;
  “ඉතිහාසයේ මේ පිළිබඳව සඳහන් තොරතුරු මේ රටෙ උඩරට රාජධානියේ අවසන් පාලකයා වශයෙන් රාජාභිෂේකය ලබපු  කන්නසාමි කුමාරයා  නැත්තන්  ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ  කාලය  දක්වා දිව යන්නක් විදියට සළකන්න පුළුවන්මේ. ගැන සනාථ කරන්න පුළුවන් ඓතිහාසික මූලාශ්‍ර විදියට ගත්තොත්, හිඟුල්වල ප්‍රදේශයේ පිහිටලා තියෙන  කිරි කොස්ගහමුල රාජසිංහ රජ සමයේ පිහිටුවලා  තියෙන  සෙල්ලිපියට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ  රජතුමාගේ ගමන් මාර්ගයක් මෙම දැදුරු ඔයේ ජල මූලාශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය හරහා වැටී තිබුණු බවටත් ළිහිණියාගල කන්දේ  රජතුමා ගිමන් හරින ලද ගල් ගුහාවක් ඇති බවටත් ඔප්පු කර ගන්න පුළුවන්---”
   මෙම ප්‍රකාශයට අනුව සනාථ කර ගත හැකි වන්නේ  මේ ආශ්‍රිත ප්‍රදේශය  පාරිසරික සුන්දරත්වය අතින් මෙන් ම ඓතිහාසික වශයෙන්  ද වැදගත්කමක් උසුලන බවයි.  එමෙන්ම ගම් වැසියන් විශ්වාස කරන ආකාරයට මෙහි ඇති  විශාල ගල්පර යටින් මුතු මැණික් ආදී වටිනා වස්තු පවතින නිධන් පවතින බවත්, එහි වූ ඇතැම් ගල් පර මත ඒ හා සම්බන්ධ  විවිධ සංකේතයන් සළකුණු කොට ඇති බවත්, ඒවා මඟින් සංකේතවත් කරන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට අපහසු බවත්, ඒවා ගොඩ ගැනීමට යමෙකු උත්සාහ කළහොත් ජලයට අරක් ගත් රකුසකු විත් එම ස්ථානයේ දීම බිලි ගන්නා බවත්  ගැමියෝ විශ්වාස කරති. 
    උක්ත ඓතිහාසික හා සමාජීය සාධක විමසා බැලීමෙන් අනතුරුව දැදුරු ඔයෙහි ප්‍රධාන ජල මූලාශ්‍රයෙහි මෙන්ම ඒ අවට පාරිසරික සුන්දරත්වය මෙතැන් සිට මනෝ රූපීව විඳ ගනිමු. ගොම්මුන්නා කන්ද ළිහිණියාගල කන්ද හා පත්තිරිප්පු කන්ද මධ්‍යයේ පිහිටි ස්වාභාවික ජල උල්පත ඇසුරින් මෙම අපූරු ජල මූලාශ්‍රය නිර්මාණය වී ඇත. මේ ආශ්‍රිත  භු ගෝලීය පිහිටීම දෙස අවධානය යොමු කිරීමේ දිී  උස් කඳු මුදුන් වලින් සමන්විත එමෙන් ම බෑවුම් හා ප්‍රපාතවලින් යුතු අඩු ජනාවාස සහිත, වන ගහනය අධික පරිසරයක් ලෙස හඳුන්වා දිය හැකිය.

  ගොම්මුන්නා කන්ද, ළිහිණියාගල කන්ද හා පත්තිරිප්පු කන්ද මධ්‍යයේ පිහිටි මෙම ජල උල්පතින් වෑහෙන දිය දහර වන ගොමු, තුරු ගොමු අතරින් රිංගා පහළට ගලා බසින්නේ තවත් කුඩා කුඩා දිය දහරාවන් හා මුසු වෙමිනි. එහිදී එකේ වල නමින් හඳුන්වන ස්ථානය පොදු පරිහරණය සඳහා වෙන් වන්නේ, ගම්මුන් එම ස්ථානය ස්නානය කිරීමට යොදා ගන්නා නිසාවෙනි. එතැන් සිට ඇදෙන දිය දහර  විශාල ගල් පර දෙකක් අතරින් මතුව සුදෝ සුදු පැහැයෙන් ගලා හැලෙන්නේ දෙකේ වල නමින් හැඳින්වෙන ස්ථානයට ය.ගල් පර්වතය මත සිට දියට පැන දිය බුං ගැසීමට කදිම ලෙස මෙය සැකසී ඇති නිසා මෙය ද දෙකේ වල ලෙසින් ගම්මුන් හඳුන්වයි. එහිදී සුදෝ සුදු කිරි පෙණ පිඩු නංවමින් වල මතට ජලය වැටෙන විටත්, ඉන් ජල බිඳිති විසිරෙන විටත් මැවෙන්නේ චිත්තාකර්ෂණීය සිතුවමකි. ජබර පඳුරින් වට කොට ගත් වලට ජලය පිරී එම ජලය උතුරා ගොස් ගල් පර අතරින් ගලා යන්නේ එහි වූ සුන්දරත්වය මෙන්ම  අපූර්වත්වය ද  පරිසරයට එකතු කරමිනි. ගල් පර අතර සැඟව ගත් කක්කුට්ටන්ගේ හා ගෙම්බන්ගේ නාදයන් ද, දිය පහර පහළට බසින විට නඟන ‘මුනු මුනු ’ නඳත් එක් වූ කළ මැවෙන්නේ අපූර්ව සංගීත රිද්මයකි.  ඉඳ හිට කෑ ගසන කොරවක්කන්ගේ නාදයත්, චිරීස්--- ච්‍රෑස්--- හඬින් වනය දෙවනත් කරන රිලවුන්ගේ නාදයත් මුසු වූ කළ මැවෙන පරිසරයේ ගුප්ත බවද මෙහි විටෙක දිස් වේ.
      අඩු ජනාවාසකරණයත් , වනස්පතීන්ගෙන් ගහනය වූ පරිසරය නිසාත් මෙහි වූ සුන්දරත්වයට කිසිදු  ලෙසකින් හානියක් මෙතෙක් සිදු වී නොමැත- පාරිසරික සුන්දරත්වය අනූන ලෙස පිහිටියා වූ මෙහි ස්නානය කිරීම සඳහාත් , එහි සිසිලස හා පහස පිරි සුන්දරත්වය විඳ ගැනීමටත් නේක දෙසින් පිරිස් මෙය කරා ඇදී එයි- ගලා හැලෙන දිය දහරේ නිසල හඬ විඳිමින් සිත් සනසන , සිත් පිනවන  සොබාදහමේ අපූර්ව හඬට සවන් යොමමින්  එහි වූ ගල් තලාව මත හිඳ බවුන් වැඩීමට තරම් මනස්කාන්ත නිසල වූ පරිසරයක් මෙය සතු වේ.  


ජල මූලාශ්‍රය ආශ්‍රිත ජෛව විවිධත්වය

  මේ ආශ්‍රිත ජෛව විවිධත්වය දෙස අවධානය යොමු කිරීමේ දී ඒකදේශික පක්ෂීන් මෙන්ම සිව් පා සතුන් හා උරග විශේෂයන් ද දැක ගත හැකිය. වලි කුකුළා, කෑරලා, ඇටි කුකුළා, පිළිහුඩුවා ආදී පක්ෂීන්ද සුදු කොකා , මයිනා,  සිවුරු හොරා,  බකමූණා, දෙමලිච්චා, කෑදැත්තා ආදි සංචරක පක්ෂීන් ද වැලි මුවා, මී මින්නා, දඬු ලේනා, ඉරි ලේනා, කලවැද්දා, රිලවා, වල් ඌරා, ඉත්තෑවා  වැනි සිව් පා සතුන් ද මේ ආශ්‍රීත ප්‍රදේශයෙහි සුලභව දක්නට ලැබෙයි. කරවලා, තිත් පොළඟා, නාගයා, ගැරඬියා, ඇහැටුල්ලා, තලගොයා ආදි උරග විශේෂයන් ද දක්නට ලැබේ. ජලාශ්‍රිත මත්ස්‍ය විශේෂ ලෙස  තිත්තයා, කනයියා, ඉස්සා, පෙතියා  වැනි මත්ස්‍යයින් ද හමු වේ.
දැදුරු ඔය පරිහරණයේ දී පාරිසරික වශයෙන් හානි දායක මට්ටමේ ක්‍රියාකාරකම් මිනිස් ප්‍රජාව මඟින් සිදු නොවීම නිසා පරිසර සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවති. එමෙන් ම මේ ආශ්‍රිතව දිවි ගෙවන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන අක්කර 20 කට ආසන්න ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්තව පවතින සශ්‍රීක වී ගොවිතැන  සඳහා අවශ්‍ය ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ ද මෙයයි. එමෙන්ම සරුසාර තේ වගාවක් මෙන්ම ගම්මිරිස් හා කෝපි වගාවන් ද මේ ආශ්‍රිත ප්‍රදේශය පුරාවට දක්නට ලැබේ. මේ ආශ්‍රිතව වෙසෙන මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන ඉස්සන් ඇතැම් විට ගම්මුන් සිය ආහාර වේල සඳහා එක් කර ගනී. එමෙන්ම  මෙහි වෙසෙන කුඩා, කුඩා විසිතුරු මසුන්  ජල බඳුන් වලට අල්ලා ගෙන  මාළු ටැංකිවලට දැමීම සඳහා රැගෙන යාමට ද මෙහි පැමිණෙන ලොකු  කුඩා කවුරුත් අමතක නොකරති.
මෙලෙසින් සියල්ලන්ගෙන් සශ්‍රීක වූ වටපිටාවක් හා ස්වභාව සෞන්දර්යයයෙන් අනූන පරිසරයක් මෙම ජල මූලාශ්‍රය සතු වන බවට පසක් කිරිීමට  තවත් සාක්ෂ්‍යයන්  කුමටදැයි හැඟේ. 


  ල මූලාශ්‍රය ආශ්‍රිත බෝග වගාවන්
 දැදුරු ඔයේ ප්‍රධාන ජල උල්පත අවට පරිසරයේ ශාක හා ජෛව විවිධත්වය දෙස අවධානය යොමු කිරීමේ දී එහි නා, ඇහැළ, රුක් අත්තතන, මැහෝගනී, බුරල, අත්කැන්ද කුඔුක් , දුම්මැල්ල, අන්කැන්ද  ආදී ඖෂධීය වටිනාකමින් යුතු ශාකයන් මෙන්ම පොල්, පුවක්, කිතුල්, දූරියන්, කොස් හා දෙල් ආදී වු ඒක දේශික ශාක පද්ධතියක් මෙන්ම කොකෝවා, සාදික්කා, ගම්මිරිස්, ගොරකා  ආදී සුළු අපනයන භෝගයන්ගෙන් ද මෙහි ශාක පද්ධතිය සමන්විත වේ.උස් කඳු මුදුනක සිට බෑවුම් සහිත ප්‍රපාතයක් දක්වා අඩි පාරක් ඔස්සේ බැස යන කළ එහි වූ ගමන් පහසුවට අත් වාරු සපයන්නක් ලෙසින් ස්වභාවදහම් දිනිතිය විසින් නිමවන ලද සවිමත් එමෙන්ම විශාල ලෙස වැඩුණු වැල් රාශියක් හමු වේ.
මේ කරා ළඟා වීමට යා යුතු මාර්ගය අපට සිහි ගන්වන්නේ සූරිය අරණ  සිනමා සිත්තම රූ ගත කළ සුනදර  මී මුරේ ප්‍රදේශය යි. කුඩා මී මුරේ ලෙසින් හැඳින්වීමට තරම් එහි වූ සුන්දරත්වය අපමණ ය.

    මෙලෙසින්  මොරන්කන්ද ග්‍රාමයෙන් හා ගොම්මුන්නාව කඳු මුදුනේ සිට කුඩා දිය පහරවල් දෙකක් ලෙසින් ඇරඹෙන දිය දහර කෙමෙන් තවත් ඇළ මාර්ග 12 කින් පමණ පෝෂණය වී විශාල දිය පහරක් බවට පත් වී ඉන් අනතුරුව කුරුණෑගල සහ පුත්තලම  දිස්ත්‍රික්කවල පිහිටි කෙත් සමූහය ද පෝෂණය කරමින්  කිලෝ මීටර් 142 ක් දුරට ගලා ගෙන ගොස් හලාවතින් මහ සමුදුර සිප ගන්නේ දැදුරු ඔය යන නාමයෙනි.මෙම ඔයෙහි සුල මුල සොයා ගිය ගමනෙහි එහි ප්‍රධාන ජල මූලාශ්‍රය  හෙවත් මව් උල්පත සතු පාරිසරික සුන්දරත්වය පිළිබඳ පුවත මෙලෙසින් සමාප්තිය සනිටුහන් කළ ද මෙහි වූ ආශ්වාදනීය වූත් මනෝරම්‍ය වූත් පාරිසරික සෞන්දර්යය ලක්මව උදෙසා සදා සුරැකෙනු  ඇත.



 ආශ්‍රිත මූලාශ්‍ර
      ආශ්‍රිත ග්‍රන්ථ
1. මාරුද්දනගේ , එස් , සංකල්ප සංවාද සමඟ සංවේදනා , කර්තෘ ප්‍රකාශනයකි-

 නූතන ලිපි 
1.www.lankadeepa.lk
2.www.divaina.com
3.https://si.m.wikipedia.org
4.https://lankanews.com

          සම්මූඛ සාකච්ඡා
එස් - මාරුද්දනගේ මහතා


-මංජරිී-

No comments:

Post a Comment